සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 553

ගන

1. වි. ගනකම සහිත; තුනී නොවූ; ඝනත්වය සහිත.
2. වි. ගැවසී ගත්; ගහන වූ.
3. වි. දියාරු නොවූ; උකු.
4. වි. තද; දැඩි.
1. නා.ප්‍ර. වලාකුළ; මේඝය.
2. නා.ප්‍ර. තූර්ය භාණ්ඩයක අත්තාලම; කස්තාලම.

ගනකඩබොල්

වි. අතිශයින් ඝන වූ.

ගනකනා

නා.ප්‍ර. පිරිසුදු රත්රන්; තනි රත්තරන්.

ගනකල්

නා.ප්‍ර. වැහි කාලය; මේඝ කාලය; වර්ෂා සෘතුව; වස්සානය.

ගනකළඹ

නා. විශාල වැහි වලාකුළ; ඝන මේඝකූටය.

ගනකුළ

නා. වැහි වලාකුළ; මේඝකූටය.

ගනග

නා. විදුලිය; විදුලි එළිය.

ගනගබ

නා. වර්ෂාව උපදින ස්ථානය; වැහි වලාකුළ.

ගනගැජුම්

නා.ප්‍ර. මේඝ ගර්ජනය.

ගනගුම්

නා.ප්‍ර. අහස ගෙරවීම; මේඝ ගර්ජනය.

ගනතම

නා. ඉතා දැඩි අඳුර; අධික වූ අන්ධකාරය; ඝනාන්ධකාරය; ගන අඳුර.

ගනඳර

නා. තද අඳුර; ඝනාන්ධකාරය.

ගනඳුර

නා. ගන අඳුර; දැඩි අන්ධකාරය; ඝනාන්ධකාරය.

ගනපොද

නා. වැසිපොද.

ගනබ

1. නා. ඝන වැසි වලාකුළ.
2. නා. වැහිවතුර; වැසි ජලය.

ගනබහල

වි. අතිශයින් ඝන වූ; බොහෝ සෙයින් ඝන ස්වභාව ඇති.

ගනබොල්

වි. අතිශයින් ඝන වූ.

ගනරන්

නා.ප්‍ර. තනි රත්රන්; අමිශ්‍ර රන්.

ගනරැස

නා. වලාකුළු සමූහය; මේඝකූට පන්තිය.

ගනලේ

නා.ප්‍ර. රේඛාවක් වශයෙන් දිගට වැටී තිබෙන වැසි වලාව; වැසි වලාරොද.

ගනසම

නා. වැහි කාලය; වර්ෂා සෘතුව; මේඝ සමය.

ගනසර

නා.ප්‍ර. කපුරු.

ගනසා

වි. ළං ළං ව වැඩුණු අතුපතර ඇති; කොළවලින් වැසී ගිය ශාඛාවලින් යුත්.

ගනසැරයට

ක්‍රි.වි. ඉතා අධික ලෙස; බහුල ලෙස.