සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 552

ගතිචාරය

(පාරිභා.) නා. ගති පැවතුම් දැක්වීම; හැසිරීම ප්‍රායෝගික ව විදහාපෑම.

ගතිජ

(පාරිභා.) වි. චලන නිසා හටගත්; චලිතයට අයත්; චාලක.

ගතිජ ශක්තිය

(පාරිභා.) ගමන් වේගය නිසා චාලක වස්තුවක හටගන්නා ශක්තිය; ගතික ශක්තිය.

ගතිමත්

වි. බුද්ධිමත් ගමන් මඟක් ඇති; ප්‍රඥාවන්ත පැවතුමින් යුතු.

ගතිමතා

නා. බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන තැනැත්තා; ප්‍රඥා මාර්ගයෙහි ගමන් කරන්නා.

ගතිය

1. නා. යෑම; ගමනාගමනය; චලනය.
2. නා. ග්‍රහ මාර්ගය; ග්‍රහ පථය.
3. නා. ඉපදීම; උත්පත්තිය; මරණින් පසු උපත.
4. නා. ආකාරය; පැවතුම; ස්වභාවය.
5. නා. ධාරණ ශක්තිය; නුවණ; ප්‍රඥාව.
6. නා. (වණයක ඇති ලේ සැරව ආදි) අපවිත්‍ර ද්‍රවය.
7. (පාරිභා.) නා. ස්වාභාවික ලක්ෂණය; විශේෂ ස්වභාවය; ආවේණික ගුණය.

ගතිවිද්‍යාව

නා. බලය පිළිබඳ ක්‍රියා හදාරන විද්‍යාව; ඕනෑම විෂය ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වන භෞතික හෝ චර්යා බලවේග හදාරන ශාස්ත්‍රය.

ගතිශාස්ත්‍රය

නා. කෙනකුගේ ගමන් ලීලාව අනුසාරයෙන් පලාපල දක්වන ශාස්ත්‍රය.

ගතු කියනවා

ක්‍රි. පුද්ගලයකු නොකළ වැරදි කළ සේ තවකෙනකුට පවසනවා; කේලාම් කියනවා.

ගතුව

1. නා. යමෙකු නොකළ වැරැදි කළ සේ තව කෙනකුට හඟවන ප්‍රකාශය; කේලම.
2. නා. ආරංචිය; පුවත.
3. නා. ගත්තු දෙය.

ගද

1. නා.ප්‍ර. රෝගය; ව්‍යාධිය; පීඩාව; උපද්‍රවය.
2. නා.ප්‍ර. වස විෂ.
3. නා.ප්‍ර. ගද්‍ය කාව්‍යය; ගද්‍යය.
4. නා.ප්‍ර. කථාව

ගදබා

නා. කොටළුවා; ගද්‍රභයා; ගදුබුවා.

ගදඹා

1. නා. ගාන්ධර්වයා; සංගීතඥයා; සංගීත ශිල්පියා.
2. නා. ගන්ධබ්බයා.

ගදල්

නා.ප්‍ර. රොඩු කුණු; අපද්‍රව්‍ය.

ගද්ගදභාෂියා

නා. ගොත ගසමින් කතා කරන තැනැත්තා; ගොතයා.

ගද්ගදය

නා. (කතා කරන විට සහ ඉකිබිඳ හඬන විට ඇති වන) ගොතය.

ගද්‍ය කාව්‍යය

නා. කාව්‍යෝක්ති සහිත ව වාසගමින් ලියූ සාහිත්‍ය කෘතිය.

ගද්‍යය

නා. ඡන්දස් රහිතව වැකියෙන් ලියූ රචනා විශේෂය.

ගද්‍යාණ

නා.ප්‍ර. බර ප්‍රමාණයක්; මාෂ හයක බර.

ගද්‍රභයා

නා. කොටළුවා; ගදුබුවා.

ගදා

1. නා.ප්‍ර. පොල්ල; මුගුර; ගදායුධය.
2. නා.ප්‍ර. ගණ දෙවියන්ට ව්‍යවහාර වන නාමයක්.

ගදාධර

නා.ප්‍ර. ගදාවක් දරන්නා; විෂ්ණු දෙවි.

ගදායුධය

නා. මුගුරක් වැනි ආයුධ විශේෂයක්.

ගදිත

වි. කියන ලද; ප්‍රකාශ කරන ලද; වදාළ.