සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 551

ගතමනාව

නා. කරන ලද වැඩක් ලබාගත යුතු මුදල; කුලිය; ගාස්තුව.

ගතවයස්

නා.ප්‍ර. වයසට ගිය පුද්ගලයා; වයස්ගත තැනැත්තා; මහල්ලා; වයෝවෘද්ධ පුද්ගලයා.

ගත්කරු

නා.ප්‍ර. ග්‍රන්ථ සම්පාදනය කරන්නා; ග්‍රන්ථ කර්තෘ.

ගත්තර

නා.ප්‍ර. කුල විශේෂයක්; යුද්ධවලින් දාස භාවයට පත් වූවන් ද දඬුවම් වශයෙන් රජු විසින් කුලයෙන් පහත හෙලූවන් ද මේ කුලයට අයත්ය.

ගත්තවර

නා.ප්‍ර. ශරීරයෙහි ගල්වන සුවඳ ද්‍රව්‍ය; අංගරාග විලවුන්.

ගත්තිල

නා.ප්‍ර. (නිල්පාට ශරීරයක් ඇත්තා යනු වාව්‍යාර්ථයි) විෂ්ණු දෙවි.

ගත්මිල

නා.ප්‍ර. භාණ්ඩයකට ගෙවූ මුදල් ප්‍රමාණය; ගැනුම් මිල.

ගත්‍යාත්මක

[ගති + ආත්මක]
(පාරිභා.) වි. චලනය ලක්ෂණ කොට ඇති; චලිතය ස්වභාව කොට ගත්.

ගතාගති

[ගත + ආගති]
නා.ප්‍ර. යෑමඊම; ඉරියව් පැවැත්වීම; හැසිරීම් පිළිවෙළ.

ගතානුගතික

වි. පැරණි පිළිවෙළ අනුගමනය කරන; ගියවුන් අනු ව යන; අනුකරණය කරන.

ගතැටි

වි. ගැනීමට කැමැත්ත ඇති; ගනු කැමති.

ගති නිමිත්ත

නා. මරණාසන්න අවස්ථාවෙහි චුති චිත්තයට අරමුණු වන අනතුරු භවය හා සම්බන්ධ මරණාසන්න අයකුගේ සිත්හි පහළ වන ඊළඟ භවය පිළිබඳ අරමුණ.

ගති නියමය

1. නා. මරණින් මතු උපදින ආත්ම භාවය පිළිබඳ නියතතාව.
2. (පාරිභා.) නා. චලනය හෙවත් චලිතය පිළිබඳ න්‍යාය.

ගති මාපකය

නා. යාන්ත්‍රික හෝ සත්ත්ව බල ශක්තිය මැන ගන්නා උපකරණය; ඩයිනමෝ මීටරය.

ගති රෝධකය

නා. වාහනයක ගමන් වේගය අඩු කිරීමේ සහ එකවර සම්පූර්ණයෙන් නැවැත්වීමේ උපකරණය; තිරිංගය.

ගති විපත්ති

නා. අයහපත් උත්පත්තිය; නරක ආත්ම භාවයක ඉපදීමෙන් ලැබෙන දුර්විපාකය.

ගති සම්පත්තිය

නා. සුගතියක ඉපදීම; දිව්‍ය මනුෂ්‍ය යන සුගති භවයන් ලැබීමේ භාග්‍යය.

ගතික

1. වි. ස්ථාවර නුවූ; චලනය වන සුලු.
2. (පාරිභා.) වි. ශක්තිය උපදවන.

ගතික ශක්තිය

(පාරිභා.) නා. ගතික බවක් ඉපදවීමේ හැකියාව.

ගතිකය

නා. (ගණිත.) ගති විද්‍යාව.

ගතිකයා

නා. ගති ඇත්තා; එක් පැත්තකට නැඹුරු වූ අදහස් ඇත්තා; පක්ෂග්‍රාහියා.

ගතිකරය

(පාරිභා.) නා. දුර්වල හෘදය ස්පන්දනයක් ඇති අයට සවි කරනු ලබන ඉලෙක්ට්‍රෝනික ස්පන්දන කාරකය (=pacemaker).

ගතික්ෂම

වි. පහසුවෙන් එහා මෙහා යා හැකි; සචල.

ගතිගුණ

1. නා.ප්‍ර. හැසිරීම; හැසිරීමේ ලක්ෂණ; පැවතුම.
2. නා.ප්‍ර. (යම්කිසි වස්තුවකට) අවේණික ස්වභාවය; නිරායාසයෙන් ඇති වන ලක්ෂණය.