සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 565

ගරුකාරය

නා. ගෞරව කිරීම; බුහුමන් කිරීම.

ගරුකැට

නා.ප්‍ර. වටිනාකම ඇති කැට හෙවත් මැණික් ගල්; මාණික්‍ය; රුවන්.

ගරුගත

වි. ගෞරවයෙන් යුක්ත; බුහුමන් පෙරදැරි.

ගරුගර්භිණිය

නා. මුහුකුරා ගිය දරු ගැබ සහිත ස්ත්‍රිය; ප්‍රසවයට ආසන්න අවස්ථාවෙහි සිටින ගැබිණිය.

ගරුගාම්භීර

වි. ගෞරවාන්විත සහ ශ්‍රේෂ්ඨ භාවයෙන් යුක්ත; නුවණින් ගැඹුරු වූ.

ගරුගාරව

නා.ප්‍ර. ගරු සැලකිලි දැක්වීම; ගරුබුහුමන.

ගරුඩ වාහනය

නා. විෂ්ණු දෙවියන්ගේ වාහනය; ගුරුළු වාහනය.

ගරුඩගල්

නා.ප්‍ර. නිල් පැහැය ඇති ඖෂධීය ගල් වර්ගයක්.

ගරුඩධ්වජ

නා.ප්‍ර. ගුරුළු රූපය සහිත කොඩිය සංකේතවත් කොට ගත් දෙවියා; විෂ්ණු දෙවිඳු.

ගරුඩවාස

1. නා. අහස; නුබකුස.
2. නා. ගුරුළකු වාහනය කොට ගත් තැනැත්තා; විෂ්ණු දෙවි.

ගරුඩා

1. නා. නාගයන්ගේ පරම සතුරා වශයෙන් සැලකෙන කල්පිත පක්ෂි විශේෂයක්; ගුරුළා.
2. නා. ලොකු පත්තෑ විශේෂයක්.
3. නා. නාග විෂ නසන මන්ත්‍රයක්.

ගරුඩාලින්දය

නා. ගරුඩ ආලින්දය; මහාමේරුව හාත්පස පිහිටා ඇතැයි කියන ආලින්ද හෙවත් වේදිකා හතරෙන් ගරුඩයන් වාසය කරන ආලින්දය.

ගරුඩාසන

1. නා.ප්‍ර. ගරුඩ ආසනය; ගුරුළු ආසනය.
2. නා.ප්‍ර. විෂ්ණු දෙවියා.

ගරුතය

1. (පාරිභා.) නා. ආයනය හැරුණු විට කනෙහි සෙසු බාහිර කොටස; කන්පෙත්ත.
2. නා. කපාලයේ පූර්ව පාර්ශ්වයේ පිහිටි ස්ථානය.

ගරුතර

වි. ගෞරව ලැබීමට අතිශයින් සුදුසු; අතිගරු.

ගරුධර්ම

නා.බහු. භික්ෂුණීන් විසින් දිවිහිමියෙන් ගරු කොට පිළිපැදිය යුතු ධර්ම අට.

ගරුබ

නා. ආඩම්බරය; මානය; ගර්වය.

ගරුබුහුමන

නා. ගෞරව පූර්වකව කරන උසස් සැලකිල්ල; ගෞරවය හා බහුමානය.

ගරුභාණ්ඩ

නා.ප්‍ර. (විනය) භික්ෂු සංඝයාගේ පොදුවේ පරිභෝගය කළ හැකි පෞද්ගලික ව බෙදා ගත නොහැකි වූ බඩු; ගම්බිම් කෙත්වතු ආදි වස්තු.

ගරුභාර

වි. මුහුකුරාගිය දරු ගර්භය සහිත; දරු ගැබින් බර වූ; ගැබ්බර.

ගරුභාවය

1. නා. ශ්‍රේෂ්ඨ භාවය; විශිෂ්ටත්වය; සම්භාව්‍යතාව.
2. නා. බරබව; බැරෑරුම්බව; සැහැල්ලු නොවනබව.

ගරුමන්

නා. උඩඟුකම සහ මාන්නය; සිතෙහි ඇති වන ගර්වය සහ මානය.

ගරුමානය

නා. ගෞරවය සහ සම්මානය; ගරු කිරීම සහ බුහුමන් කිරීම; ගරු බුහුමන.

ගරුව

නා. සැලකිල්ල; ගෞරවය; බුහුමන.