සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 566

ගරුවන්

වි. ගෞරවනීය; ගරු බුහුමනට පාත්‍ර විය යුතු.

ගරුසන්නිස්සය

නා. බහුශ්‍රැත ප්‍රඥා සම්පන්න ගුරුවරුන් ඇසුරෙහි වාසය කිරීම.

ගරුසරු

වි. ගෞරවයෙන් හා සැලකිල්ලෙන් යුක්ත; ගරු සැලකිලි සහිත වූ.

ගරුසරුව

වි. ගරු සැලකිල්ල; ගරුබුහුමන.

ගල

1. නා. කුඩා දැඩි ඝන ඛනිජ කුට්ටියක්; ශිලා ඛණ්ඩයකින් කැඩී බිඳී ගිය කුඩා තද කොටස; ශෛලය; පාෂාණය.
2. නා. පර්වතය; ගිරිකුළ.
3. නා. ඇඹරුම්ගල, මිරිස්ගල.
4. නා. මැණික; මාණික්‍යය; රත්නය.
5. නා. දැඩි දෙය.
6. නා. බෙල්ල; ග්‍රීවය; ගෙල.
7. නා. ගොනාගේ බෙල්ලේ එල්ලෙන හම.
1. වි. ගිලින ලද.
2. වි. ගිලිහුණු; පතිතවුණු; වැටුණු.

ගල අතළ

නා. ගල්තලාව.

ගල බිලය

1. නා. උගුරු සිදුර; ගලනාලයෙහි විවරය.
2. නා. මනුෂ්‍යයාගේ උගුරෙහි ශබ්ද උපදවන ස්ථානය; ස්වරාලය.

ගලකඤ්චුකය

නා. සටනක දී ගෙල පෙදෙස රැකගැනීම සඳහා සකස් කළ සන්නාහය; කණ්ඨත්‍රාණය.

ගලගණ්ඩය

1. නා. උගුර ඇතුළේ සෑදෙන ගඩුව; සෙම්ගෙඩිය.
2. නා. ගල ග්‍රන්ථිය ඉදිමී ඇති වන ගෙඩිය; වායුගෙඩිය.

ගලග්‍රන්ථිය

නා. කොඳු ඇටය සහිත සතුන්ගේ බෙල්ලේ තිබෙන නිර්නාල ග්‍රන්ථිය; තයිරොයිඩ් ග්‍රන්ථිය.

ගලග්‍රහය

1. නා. බෙල්ලෙන් අල්වා ගැනීම.
2. නා. සෙම් රෝගයක්.

ගලගානවා

1. ක්‍රි. ගලෙහි උරච්චි කරනවා; ගලක අතුල්ලනවා.
2. ක්‍රි. ගලෙහි අතුල්ලා ආයුධ ආදිය මුවාත් තබනවා.

ගලතනවා

1. ක්‍රි. එකට ඈඳනවා.
2. ක්‍රි. එකිනෙකට සම්බන්ධ කරනවා; ගලපනවා.
3. ක්‍රි. කලවම් කරනවා; කලතනවා.

ගලතලය

නා. මුදුනත සමතලාව ඇති ගල් පර්වතය; ගල්තලාව; ශෛලස්ථලය.

ගලතාංගුව

නා. වික්ෂිප්තභාවය; ගබ්ගැසුණු බව; තිගැස්ම; තෝන්තුවාව.

ගලදණ්ඩ

නා. දොර හරහට දමන පොල්ල; දොර පොල්ල; දොර අගුල.

ගලදා

නා.ප්‍ර. ඇඹරුම්ගල; දාගල.

ගලධානිකාව

(පාරිභා.) නා. නොදිරවූ ආහාර රඳවා ගත හැකි ඇතැම් පක්ෂීන්ගේ උගුරෙහි ඇති මල්ලක් වැනි අවයවය (=crop).

ගලනය

1. නා. ගොදුරු ගිල දැමීම; ආහාර ගිලීම.
2. නා. දිය වී යෑම; ගලායෑම.
3. (නීති.) නා. උකසක් කරන්නාගේ සහ උකස ලබාගන්නාගේ අයිතිය එක ම අයකු අතට ලැබීම; සංචිලේනය (=confusion).

ගලනවා

1. ක්‍රි. ගිලිනවා.
2. ක්‍රි. ජලයෙහි කිඳා බස්වනවා; නිමග්න කරනවා.
3. ක්‍රි. (ගංගා ඇලදොළ ආදිය) ඉවුරු පැන උතුරා යනවා.
4. වැගිරෙනවා; වෑස්සෙනවා; ගලායනවා; උතුරා යනවා
5. ක්‍රි. (ජලය හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ) පහත් මට්ටමක් බලා රූටා යනවා.
6. (කථා.) (රූඪි.) ක්‍රි. මුදල්; ධනය, ආදායම ආදිය සීමාරහිත ලෙස ලැබෙනවා.
7. ක්‍රි. (කථාවේ දී වචන) ඇණහිටීමක් නැති නිරායාසයෙන් එනවා.
8. ක්‍රි. (ලිවීමේදී අදහස්) නොකඩවා සිතට නැගෙනවා.
9. ක්‍රි. ගැලවී වැටෙනවා. ගැලවෙනවා; ගිලිහෙනවා.

ගලනාංකය

නා. හිම දියවෙන උෂ්ණත්ව අංශකය; ද්‍රවාංකය; විලයන අංකය (=melting point).

ගලනාලය

නා. මුඛයෙන් ගනු ලබන දෙය; ආමාශය කරා ගෙන යන නලය; අන්නශ්‍රෝතය.

ගලනීය

වි. දිය කරනු ලැබිය හැකි ද්‍රවයක් බවට පත්කළ හැකි; ද්‍රාව්‍ය.

ගලපටල රෝගය

නා. උගුරේ හටගන්නා සංක්‍රමික රෝගයක්; ඩිප්තීරියාව.