සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 654
ජඞ්ඝසේතුව
නා. පයින් යන්නන් සඳහා කළ පාලම.
ජඞ්ඝා මියර
(පාරිභා.) නා. මිනිස් පාදයේ කෙණ්ඩයේ ඉදිරිපස ඉදිරියට මතු ව ඇති ඇටය; නාලිය.
ජඞ්ඝා වාමනයා
නා. ලුහුඬු යටි කය ඇත්තා; කටියෙන් පහළ සිරුර කුරු තැනැත්තා.
ජඞ්ඝාචාර
වි. පයින් යන; ඇවිදින.
ජඞ්ඝාපේශිය
(පාරිභා.) නා. පාදයේ කෙණ්ඩයේ පිහිටි විශාල පේශිය (=gastrocnemius muscle).
ජඞ්ඝාබලය
නා. ඇවිදීමේ ශක්තිය; දෙපා සවිය.
ජඞ්ඝාල
වි. ඉක්මන්; ශීඝ්ර.
ජඞ්ඝාව
1. නා. කකුලේ දණත් වළලුකරත් අතර කොටස; බත් කෙන්ද.
2.නා. ජංඝාස්ථිය.
ජඞ්ඝාවළලු
නා.ප්ර. කෙණ්ඩා පෙදෙසෙහි පලඳින වළලු විශේෂයක්; සූ සැට ආභරණවලින් එකක්.
ජඞ්ඝාසත්ථ
නා.ප්ර. සතුන් පිට බඩු පටවා ගෙන පා ගමනින් යන වෙළෙඳ කණ්ඩායම; තවලම.
ජඞ්ඝාස්ථිකාව
(පාරිභා.) නා. කෙණ්ඩයෙහි ජංඝාස්ථියට කෙළින් ඇති ඇටය.
ජඞ්ඝාස්ථිය
(පාරිභා.) නා. කෙණ්ඩා ඇටය; දණහිසත් වළලුකරත් අතර පිහිටි අස්ථි දෙකෙන් අභ්යන්තර වූත් වඩා විශාල වූත් අස්ථිය (=tibia).
ජඞ්ඝාසා
නා.ප්ර. උකුළු ඇටයේ ත්රිකාස්ථියේ පහළ ම කොටස.
ජඞ්ඝො විහරණ
නා. (ව්යායාම වශයෙන්) ඇවිදීම; සක්මන් කිරීම; පාගමනින් යෑම.
ජඟ ගන්නවා
ක්රි. සටන්කොට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නවා.
ජඟගේ
නා. දඬුවම් පිණිස වරදකරුවන් සමාජයෙන් වෙන් කොට තබන ගේ; දඟගේ; බන්ධනාගාරය.
ජඟුල
(කථා.) නා.ප්ර. පමණට වැඩියෙන් ලැබෙන ජලය; පිටාර ගලන වතුර.
ජඟුල් බානවා
ක්රි. වහිනවා.
ජටකය
නා. (ගොතා තැනූ) කූඩය; පැස.
ජටා කලාපය
නා. ජටාවක් සෙයින් ගෙතුණු හිසකෙස් සමූහය; දළමඬුල්ල.
ජටාධරයා
1. නා. (ජටාවක් මෙන්) හැඩපලු ගෙතුනු කෙස් ඇත්තා; ජටිලයා.
2. නා. හිසෙහි තලප්පාවක් බැඳ ගත් තැනැත්තා.
ජටාභරණය
(කථා.) නා. වෙස් නැට්ටුවන්ගේ හිස් පලඳනාව.
ජටාමකුට
1. නා.ප්ර. මුදුන් කොට සකස් කළ හැඩපලු ගෙතුණු කෙස්වැටිය.
2. නා.ප්ර. ඔටුන්නක් ලෙස බැඳගත් ජටාව; මුදුන් කොට බැඳි තලප්පාව.