සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 653

ජගාව

(කථා.) නා. කොටස; ප්‍රමාණය.

ජගුවරා

නා.ප්‍ර. අමෙරිකාවේ වෙසෙන බිළාල ගෝත්‍රයට අයත් වනගත සිවුපාවෙක්.

ජගෙන්තුව

(කථා.) නා. උඩඟුකම; අහංකාරකම.

ජඝන ධමනිය

(පාරිභා.) නා. පෘෂ්ඨිය මහා ධමනිය දෙකට බෙදී දේහ කුහරයේ අපර කෙළවර දී අපර ගාත්‍ර වෙතට පිට වන්නා වූ ධමනි දෙක.

ජඝන ශිඛාව

නා. ජඝනයෙහි මුදුන් කොටස.

ජඝනතලය

නා. උකුළ, දුවන්තලය.

ජඝනඵලකාස්ථිය

[ජඝනඵලක + අස්ථිය]
(පාරිභා.) නා. ඇලපතට ආධාරකයක් වශයෙන් සිටින උකුල් ඇටයේ කොටසක්; පෘෂ්ඨ වංශීන්ගේ ශ්‍රෝණි චක්‍රයේ පෘෂ්ඨීය කාටිලේජ අස්ථිය.

ජඝනය

1. නා. උකුළ; නිතඹ; ශ්‍රෝණිය.
2. නා. ජඝනඵලකාස්තිය.

ජඝන්‍ය

1. වි. අන්තිම; අවසාන.
2. වි. පහත්; නීච.
3. වි. මෝඩ; අඥාන.
4. වි. අල්ප; සුළු.
5. වි. කුලහීන; ශුද්‍ර.

ජඝන්‍යය

නා. බාල කාලය; ළමා අවධිය.

ජඝන්‍යයා

නා. ඥාන ශක්තියෙන් අඩු තැනැත්තා; බාලයා.

ජඞ්ගම

1. වි. ගමන් ගන්නා; ක්‍රියාකාරී; පණ ගැන්වුණු.
2. වි. වියදම් කරනු ලැබිය හැකි; ස්ථාවර නැති; ස්ථිර (තැන්පතුවක්) නොවන.
නා.ප්‍ර. ප්‍රාණියා; ඔබ මොබ යන්නා; ගව ආදි සත්ත්වයා.

ජඞ්ගම ඡන්දය

(පාරිභා.) නා. එක් පක්ෂයකට ස්ථිර ව නොබැඳී අවස්ථානුකූල ව වෙනස් වන ඡන්දදායක පිරිස; පාවෙන ඡන්දය.

ජඞ්ගම යන්ත්‍රය

1. (පාරිභා.) නා. ගමන් කරන යන්ත්‍රය; චලන ශක්තිය ඇති යන්ත්‍රය හෝ වාහනය.
2. නා. රේල් පීලි මත දුම්රිය ඇද ගෙන යන එන්ජිම.

ජඞ්ගම විදුලිය

(පාරිභා.) නා. කම්බි හෝ වෙනත් සන්නායක මාර්ගයෙන් තැනකින් තැනකට ගමන් කරවිය හැකි විදුලිය; චංචල විදුලිය.

ජඞ්ගමනය

1. (පාරිභා.) නා. එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම.
2. නා. එසේ ගමන් ගැනීමේ ශක්තිය (=locomotion).

ජඞ්ගමවිෂ

නා.ප්‍ර. නා, පොළො ආදි සර්පයන් දෂ්ට කිරීමෙන් හටගෙන සිරුරේ තැනින් තැනට ගමන් කරන විෂ.

ජඞ්ගල

1. නා.ප්‍ර. කතර; කාන්තාරය.
2. නා.ප්‍ර. වනය; වනාන්තරය.
3. නා.ප්‍ර. ජංගලමාංසය.

ජඞ්ගලමාංස

නා.ප්‍ර. මිනිස් ආහාරය පිණිස ගනු ලබන මුව ආදි වන සතුන්ගේ මස්.

ජඞ්ගාලය

1. නා. මායිම; සීමාව.
2. නා. නියර.

ජඞ්ගුල

නා.ප්‍ර. සර්පාදින්ගේ විෂ.

ජඞ්ඝ මාර්ගය

නා. අඩිපාර; ගව ආදි සතුන් පිට බඩු පටවාගෙන යා හැකි මඟ; තවලම් මඟ.

ජඞ්ඝකය

(පාරිභා.) නා. කෙණ්ඩා ඇටය; ජංඝස්ථිය.

ජඞ්ඝපත්‍ර

නා.ප්‍ර. කෙණ්ඩය වැසෙන සේ පළඳිනු ලබන ආභරණ විශේෂයක්; සිවුසැට ආභරණවලින් එකක්.