සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 652

ජංජාලය

1. (කථා.) නා. ආකූල ව්‍යාකූල තත්ත්වය; කරදරය; කලබැගෑනිය; අකරතැබ්බය.
2. නා. වැරදිල්ල; ප්‍රමාද දෝෂය.

ජකෙට්ටුව

නා. ස්ත්‍රී පුරුෂ දෙ පක්ෂය ම උඩුකය වසා අඳින අත් දිග ඇඳුමක්.

ජගච්චක්ෂුස්

[ජගත් + චක්ෂුස්]
1. නා.ප්‍ර. ලෝකයට ඇසක් වූ බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. සූර්යයා.

ජගඩම

(කථා.) නා. බලාපොරොත්තුවක් නැති ව මුහුණ පාන්නට වන සිදුවීම; හදිසිය.

ජගණය

නා. (ඡන්ද.) අට ගණයෙන් එකක්; මධ්‍ය ගුරු ගණය; සූර්ය ගණය.

ජගත්

1. නා.ප්‍ර. ලෝක සත්ත්වයා; ලෝවැසියා.
2. නා.ප්‍ර. පොළොව.

ජගත්ත්‍රය

නා.ප්‍ර. තුන්ලොව, ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන ලෝකත්‍රය.

ජගත්පූජ්‍ය

වි. ලෝකයා විසින් පිදිය යුතු.

ජගත්වූජිත

වි. ලෝකයා විසින් පුදනු ලැබූ; ලෝකයාගේ ගෞරවය ලැබූ.

ජගතා

නා. බලවතා; බලපුළුවන්කාරයා.

ජගතිය

නා. ලෝකය; විශ්වය; දියත.

ජගදන්තරය

[ජගත් + අන්තරය]
නා. මුළුලොව; සමස්ත ලෝකය.

ජගද්ගුරු

වි. ලොවට ඇදුරු වූ; ලෝකාචාර්ය වූ.

ජගද්ධිත

වි. ලොවට හිත වැඩ සැලසීම පිළිබඳ වූ; ලෝකාභිවෘද්ධිය හා සම්බන්ධ.

ජගද්ව්‍යාපි

වි. ලොව පුරා පැතිර පවත්නා.

ජගදාත්මය

නා. විශ්වය එක ම පුද්ගලත්වයෙන් සැලකීමේ සංකල්පය; බ්‍රහ්ම පදාර්ථය; විශ්ව ආත්මය.

ජගදානන්ද

වි. ලෝකයා සතුටු කරවන; ලොවට සොම්නස ලබා දෙන.

ජගදාව

නා. යකඩ මුගුර; ලෝහයෙන් තැනූ ගදාව; යගදාව.

ජගදීශ්වරයා

[ජගත් + ඊශ්වරයා]
නා. ලොවට අධිපතියා; ජගත් නායකයා; රජ.

ජගන්නාථ

1. නා.ප්‍ර. ලෝහිමියා; බුදුරජාණන් වහන්සේ.
2. නා.ප්‍ර. ලෝකයෙහි නායකයා; විෂ්ණු.

ජගන්නායක

[ජගත් + නායක]
වි. ලොවට අගතැන්පත්; ලෝකාග්‍ර.

ජගන්නේත්‍ර

වි. ලෝකයාගේ ඇස හා සමාන; ලොවට පිහිට වන.
1. නා.ප්‍ර. ලෝවැසියන්ගේ ඇස්; ලෝකයාගේ බැල්ම.
2. නා.ප්‍ර. ලොවට ඇසක් හා සමාන වස්තුව; සූර්යයා.

ජගලෙත්තුව

1. (කථා.) නා. පමණ ඉක්ම වූ අලංකාරය.
2. නා. අලංකාර ඇඳුම.

ජග්ගන

නා.ප්‍ර. ඇමදීම ආදි වතාවත් කිරීම; සකස් කර තැබීම; පිළිදෑඟුම් කිරීම.

ජග්ගුව

නා. ද්‍රව වර්ග දැමීමට ගන්නා අඬුවක් සහිත මඳක් ගැඹුරු බඳුන.