සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 68

අදූර දෘෂ්ටිය

1. නා. දුර නොදකින බුද්ධිය; නුවණ මඳකම; මන්ද බුද්ධික බව.
2. නා. දුර නොපෙනීම.

අදූරස්ථ

වි. නුදුරෙහි පිහිටි; නුදුරු වූ.

අදෘශ්‍යමාන

වි. නොපෙනෙන; දෘශ්‍යමාන නොවන.

අදෘෂ්ට

වි. නොදක්නා ලද; නුදුටු.

අදෘෂ්ට මිත්‍රයා

නා. නුදුටු මිතුරා; හමු නොවී මිතුරුකම් ඇති කරගත් තැනැත්තා.

අදෘෂ්ටපූර්ව

වි. පෙර කිසි කලෙක නුදුටු; නුදුටුවිරූ.

අදෙස්

1. නා.ප්‍ර. අවවාදය; උපදෙස; ආඥාව.
2. (ව්‍යාක.) නා.ප්‍ර. පදයක (අරුතට හානි නොවන පරිදි) අකුරක් වෙනුවට අකුරක් යෙදීම; ආදේශ විධිය.
3. නා.ප්‍ර. යමක් වෙනුවට තවත් දෙයක් යෙදීම; ආදේශ කිරීම.

අදේව දෘෂ්ටිය

නා. දෙවියකු නැත යන විශ්වාසය; දෙවියන් ඇදහීමෙන් තොරවීමේ දෘෂ්ටිය.

අදෝ

1. වි. ආලෝකය නැති; දීප්තිමත් නොවූ.
2. වි. පහත; යට.

අදෝමග

නා. අධෝමාර්ගය; මල මාර්ගය; ගුදය.

අදෝවායුව

නා. අධෝමාර්ගයෙන් නිකුත් වන වාතය.

අදෝෂ

වි. දොස් නැති; නිදොස්; නිර්දෝෂ.

අදෝස

නා. ද්වේෂය හෙවත් තරහ නැති බව; අද්වේෂය; අවෛරිභාවය.

අධඃඅන්ත්‍රය

නා. (කායි.) මහ බඩවැලේ ගුදයට සම්බන්ධ වූ කොටස; ගුද මාර්ගය.

අධඃඋදරය

නා. උදරයේ පහත කොටස; යටිබඩ.

අධඃකෘත

වි. පහතට දමන ලද; පහතට හෙළන ලද; යටි අතට හැරවූ.

අධඃප්‍රදේශය

නා. පහළ කොටස; යටි පෙදෙස.

අධඃපාතය

නා. පහතට වැටීම; පහතට හෙළීම.

අධඃපීඩනය

(පාරිභා.) නා. යටට තෙරපීම; යටිකුරු පීඩනය (=downward pressure).

අධඃපුටය

1. (පාරිභා.) නා. කකුළු ආදි කවචයන්ගේ මුඛ විවරයට පහත කොටස; යටි තොල (=hypostome).
2. නා. කොඳු ඇට නොමැති සතුන්ගේ ඉස්සී ඇති මෞඛ කේතුව.

අධඃශීර්ෂ

වි. යටිකුරු වූ හිස ඇති; පහතට නැමුණු හිසින් යුක්ත.

අධඃස්ථෝදර කුහරය

නා. යටි බඩෙහි කුහරය.

අධන

වි. ධනය නැති; නිර්ධන; දුප්පත්.

අධනයා

නා. ධනය නැත්තා; දුප්පතා.