සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 67

අදිනවා

1. ක්‍රි. තමා වෙතට ගන්නවා; හයනවා; ආකර්ෂණය කරනවා.
2. ක්‍රි. උසුලාගෙන යනවා; රැගෙන යනවා; උද්වහනය කරනවා.
3. ක්‍රි. (තිර ආදිය) දිග හැර එල්ලනවා; විදහාලනවා; ප්‍රසාරණය කරනවා.
4. ක්‍රි. (උගුල් ආදිය) අටවනවා; යොදනවා; මානනවා.
5. ක්‍රි. (ඇවිළිලි, උළුක්කු ආදිය) පිළියම් පිණිස අදලනවා.
6. ක්‍රි. (යමක් කිරීමට) පැකිළෙනවා; අදිමදි කරනවා; පසුබට වෙනවා.
7. ක්‍රි. පැත්තකට බරව ක්‍රියා කරනවා; පක්ෂග්‍රාහී ව කටයුතු කරනවා.
8. ක්‍රි. (ගොබ, දලු ආදිය) වැඩෙනවා; ලියලනවා.
9. ක්‍රි. හාරා බලනවා; අවුස්සනවා.

අදින්න

වි. නොදෙන ලද; නුදුන්.
නා.ප්‍ර. නොදෙන ලද්ද; නුදුන් දෙය.

අදින්නාදාන පාරාජිකාව

නා. (විනය.) පැවිද්දකු විසින් අන්සතු දෙයක් සොරා ගත් කල්හි සිදු වන පැවිද්ද අහිමි වන බරපතළ ආපත්තිය හෙවත් ඇවැත.

අදින්නාදානය

නා. (නුදුන් දෙය ගැනීම යනු වාච්‍යාර්ථයි) සොරකම් කිරීම; අන්සතු වස්තුව සොර සිතින් ගැනීම.

අදිප

1. නා.ප්‍ර. ප්‍රධානයා; අධිපතියා; නායකයා.
2. නා.ප්‍ර. ඉස මුදුනේ ඇති රෝමාවර්තයට හෙවත් සුළියට ඇතුළින් පිහිටි මර්මය; අධිපති මර්මය.

අදිපත්තු

1. වි. ආඪ්‍ය, සමෘද්ධිමත්.
2. වි. මාහැඟි; අගනා.

අදිප්පුව

1. නා. ගරාදි වැට.
2. නා. අඩයක් මෙන් සවි කරන ලී පටිය.
3. නා. අල්මාරියක පිටුපස කොටස.
4. නා. වැලි හුනු ආදිය හැලීම පිණිස ගන්නා දැල් තට්ටුව; රැයිසිය.

අදිමදි කරනවා

(කථා.) ක්‍රි. ඇලිමැළි කරනවා; පැකිළෙනවා; පසුබට වෙනවා.

අදිමොක්

නා.ප්‍ර. අරමුණෙහි සිත යෙදීම; අධිමෝක්ෂය.

අදියර

1. නා.ප්‍ර. වැඩක හෝ ව්‍යාපාරයක එක් එක් ව්‍යාපෘතිය හෝ කොටස; පියවර.
2. නා.ප්‍ර. පාලනය; අධිකාරය.
3. නා.ප්‍ර. නිලය; තනතුර.
4. නා.ප්‍ර. (ග්‍රන්ථයක) පරිච්ඡේදය; අධ්‍යාය.
5. නා.ප්‍ර. විෂය; මාතෘකාව.
6. නා.ප්‍ර. විශිෂ්ට ක්‍රියාව; බුදු බව පතන්නකුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වීම පිණිස එක් තැන් විය යුතු අෂ්ට ධර්ම අතරින් එකක්; බුදුන් කෙරෙහි තම ජීවිත පරිත්‍යාග කිරීම සංඛ්‍යාත ක්‍රියාව.

අදිවේද දූතයා

නා. (රෝ.ක.) ක්‍රිස්තුස් වහන්සේගේ මුල් ගෝලයා; අපොස්තුලුවරයා.

අදිශ රාශිය

(පාරිභා.) නා. විශාලත්වය ඇති නමුත් අවකාශයේ විශේෂ දිශාවක් අනුව නොපවතින රාශිය; දිග්විහීන රාශිය (=scalar quantity).

අදිස

නා. ආදර්ශය; අනුගමනයට සුදුසු

අදිසි

1. වි. නොපෙනෙන; අදෘශ්‍ය; අදෘශ්‍යමාන; අදිස්.
2. වි. අහම්බෙන් සිදුවන; බලාපොරොත්තු නොවන.

අදීන

වි. යටත් නොවන; බැගෑපත් නොවන; දීන නොවන

අදීප්ත

1. වි. පැහැදිලි නැති; අපැහැදිලි; අඳුරු
2. වි. ආලෝකය නිකුත් නොකරන; දීප්තියක් නැති; අභාස්වර (=nonluminous).

අදීප්ත දැල්ල

(පාරිභා.) නා. දීප්තියක් නැති ගිනි දැල්ල; අදීප්තිමත් ගිනි දැල්ල (=non luminous flame).

අදීර්ඝ දෘෂ්ටිය

නා. දෘෂ්ටියෙහි දුබලකම් නිසා දුර නොපෙනීම; ඈත නොපෙනීම; හ්‍රස්ව දෘෂ්ටිය.

අදුඃඛ

වි. දුක් නැති; දුක් රහිත; දුක් වේදනා නැති.

අදුඃඛමසුඛ

වි. සැපත් නොවූ, දුකත් නොවූ; උපේක්ෂා සහගත.

අදුඃඛමසුඛ භූමිය

නා. (අභි.) දුකක් හෝ සැපක් නොවන බිම; චතුර්ථ ධ්‍යානය.

අදුක්ඛම සුඛ වේදනා

නා. (අභි.) දුකක් හෝ සැපක් නොවන වේදනාව උපේක්ෂා වේදනාව; ත්‍රිවිධ වේදනා වලින් එකක්.

අදුතිය

වි. දෙවැනි නොවන; දෙවැන්නකු නැති; අද්විතීය.

අදූර

වි. දුර නොවූ; නුදුරු; සමීප; ළං වූ.