සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 69

අධන්‍ය

වි. අභාග්‍ය සම්පන්න; පින් නැති.

අධම

වි. ඉතා පහත්; නීච.

අධම දසාව

නා. (ජ්‍යෝති.) අශුභ කාලය; නරක කාලය.

අධම පක්ෂය

නා. ඉතා අඩු තරම; ඉතා පහත් ප්‍රමාණය.

අධමයා

නා. පහත් තැනැත්තා; නින්දිත පුද්ගලයා; නීචයා.

අධමාධම

[අධම + අධම]
වි. ඉතා පහත්; අතිශය නිහීන.

අධමාන්තයෙන්

ක්‍රි.වි. ඉතා අඩු තරමින්; යටත් පිරිසෙයින්.

අධර

වි. පහත්; යටි; අධඃස්ථ.
නා.ප්‍ර. යටිතොල; යටිතොල හෝ උඩුතොල; ඕෂ්ඨ.

අධර ඩිම්බ කෝෂය

(පාරිභා.) නා. මලක ග්‍රාහකයේ පතුලෙහි පිහිටි ඩිම්බ කෝෂය හෙවත් අණ්ඩාශය (=inferior ovary).

අධර පල්ලවය

නා. තොල නමැති දලුව; ළා දලුවක් බඳු තොල.

අධර මහා ශිරාව

(පාරිභා.) නා. ශරීරයේ පහළ කොටස්වලින් දකුණු හෘත්කර්ණිකාවට ලේ ගෙන එන්නා වූ මහා ශිරාව (=inferior vena cava).

අධර සෝපානිකාව

(පාරිභා.) නා. කර්ණශඞ්ඛය බෙදා ඇති සෝපානිකා වැනි කොටස් තුනෙන් පහත කොටස (=scala tympani).

අධර හන්වස්ථිය

(පාරිභා.) නා. යටි හකු ඇටය.

අධර හරස්පේශිය

(පාරිභා.) නා. අක්ෂිකූපයේ අධෝභාගයෙහි වූ පේශිය (=inferior oblique muscle).

අධරපුට

(පාරිභා.) නා.ප්‍ර. සියුරු හඬලෑමේ දී දෙ තොල එක් කිරීමෙන් සෑදෙන ගොටුව හෙවත් කුහරය.

අධර්ම කර්මය

නා. (විනය.) ව්‍යවස්ථා වලට අනුකූල නොවන පරිදි සිදු කරන විනය කර්මය; ධර්මයට පටහැණි කර්මය හෙවත් ක්‍රියාව.

අධර්ම චරණය

නා. අධර්මයෙහි හැසිරීම; වැරදි ක්‍රියාවල නිරත වීම.

අධර්ම චෝදකයා

නා. (විනය.) අධර්මයෙන් චෝදනා කරන්නා; අභූත වස්තුවෙන් චෝදනා කරන පුද්ගලයා.

අධර්ම වාදය

නා. ධර්මයට වඩා අධර්මය උසස් යැයි හෝ වැඩි යැයි හෝ යන මතයෙහි පිහිටා කරන වාදය.

අධර්ම වෙළඳාම් පස

නා. බෞද්ධයකු විසින් නොකළ යුතු අධාර්මික වෙළඳාම් පස; ආයුධ, සතුන්, මස්, මත්ද්‍රව්‍ය, විෂ වර්ග යන මේ පස වෙළඳාම් කිරීම.

අධර්මකාරී

වි. අධර්ම ක්‍රියා කරන.

අධර්මය

නා. ධර්මයට විරුද්ධවූව; අධාර්මික ක්‍රියාව; නීති විරෝධී ක්‍රියාව.

අධර්මිෂ්ඨ

වි. දැහැමි නොවූ; අදමිටු; අධාර්මික.

අධර්මිෂ්ඨයා

නා. දැහැමි නොවූ පුද්ගලයා; අදහමට යොමු වුණු තැනැත්තා; අධාර්මිකයා.