සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 70

අධරාක්ෂිය

[අධර + අක්ෂිය]
නා. ඇසේ යට කෙළවර; යටැස.

අධරාරණිය

නා. එකිනෙක ගැටීමෙන් ගිනි ඉපදවීමට ගන්නා දඬු දෙකෙන් යටින් තබන දඬුව.

අධරිකාව

(පාරිභා.) නා. ඕකිඩ් මලක පහතින් පිහිටි දලය හෙවත් මල් පෙත්ත (=labellum).

අධරෝෂ්ඨ

නා.ප්‍ර. යටිතොල; යටිතොල හා උඩුතොල.

අධශ්චේතනාව

නා. යටි සිත; යටි සිතේ පැවති කල්පනාව.

අධශ්ශ්‍රෝතස

නා.ප්‍ර. යටි අතට ගලා යන දිය දහර.

අධශ්ශිරස්

වි. යටිකුරු වූ හිස ඇති; පහතට හැරවූ හිසින් යුක්ත.

අධ්වක්ෂම

වි. දිගු කලක් පැවතිය හැකි; දිගු කල් පවතින; චිරස්ථායී.

අධ්වත්‍රය

නා.ප්‍ර. අතීත, වර්තමාන, අනාගත යන කාල තුන.

අධ්වය

1. නා. මාර්ගය; පථය.
2. නා. කාලය.

අධ්වයෝගය

නා. (ඡන්ද.) ඡන්දසක වෘත්ත පැතිර වීමට අවශ්‍ය භූමි ප්‍රමාණය.

අධ්වශ්‍රමය

නා. ගමන් වෙහෙස; ගමන් විඩාව.

අධ්‍යක්ෂ

නා.ප්‍ර. කාර්යාංශයක් පාලනය කරන්නා; වෙළඳ සමාගම් ආදියෙහි පරිපාලන කටයුතු කරන්නා; පරිපාලකයා.

අධ්‍යයන නිවාඩු

නා.ප්‍ර. ස්වකීය උසස් අධ්‍යාපන කටයුතුවල යෙදීම සඳහා නිලධාරීන්ට රජය මඟින් පඩි සහිත ව නිර්දේශ කරනු ලබන නිවාඩුව.

අධ්‍යයන පරිපාටිය

නා. ඉගෙනීම පිළිබඳ වැඩ පිළිවෙළ; අධ්‍යයනය පිළිබඳ නිර්දේශ කරන ලද ක්‍රමය.

අධ්‍යයනය

නා. ඉගෙන ගැනීම; හැදෑරීම; උද්ග්‍රහණය.

අධ්‍යවගාහනය

නා. බැස ගැනීම; අවතරණය.

අධ්‍යවස්තරණය

නා. වසාගෙන පැතිරීම; යට කර ගැනීම; මැඬ ගැනීම.

අධ්‍යවස්තෘත

වි. වසාගෙන පැතුරුණ; යට කර ගත්; මැඬ ගන්නා ලද.

අධ්‍යවසාය

1. නා.ප්‍ර. උත්සාහය; වීර්යය.
2. නා.ප්‍ර. විනිශ්චය; තීරණය.

අධ්‍යශනය

නා. කෑ අහර දිරවීමට පෙර නැවත කෑම; අනුභව කළ විගස ම නැවත අනුභවය.

අධ්‍යාචරණය

නා. ඉක්ම හැසිරීම; ව්‍යතික්‍රමණය.

අධ්‍යාචාරය

1. නා. ඉක්ම හැසිරීම; වරදවා හැසිරීම; ව්‍යතික්‍රමය.
2. නා. වරද; ආපත්තිය.

අධ්‍යාතතිය

(පාරිභා.) නා. අධික රුධිර පීඩන;, රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිම (=hypertension).