සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 974

නොපණත්කම

නා. සමාජ සම්මතයට පටහැනි ක්‍රියාව; අකීකරු.

නොපමාව

නා. පමා නැතිබව; අප්‍රමාදබව.

නොපසුබට

වි. පමා නැතිබව; අප්‍රමාද බව.

නොපැකිල

ක්‍රි.වි. නැවතීමක් නැති ව; පැකිලීමක් රහිත ව.

නොපැටු

වි. (රාජ්‍ය මුද්‍රාවෙන්) මුද්‍රා නොතබන ලද.

නොපැටු මදඩිය

නා. (රාජ්‍ය මුද්‍රාවෙන්) මුද්‍රා නොතබන ලද තරාදි පඩිය; රාජ්‍ය සම්මතය නොලත් තුලා පඩිය.

නොපැළෙන

(පාරිභා.) වි. පැසුණු විට ස්වභාවයෙන් ම පැළී විවෘත නොවන.

නොපිට

නා. පිට පැත්ත; වැරදි පැත්ත; කණපිට.

නොපිරියත්

1. වි. කෙළවරක් නැති; සීමා රහිත.
2. වි. සෑහීමකට පත් නොවන.

නොපිහිකුළු

වි. නොවැසුණු; ආවරණය නොවූ; අපටිච්ඡන්න.

නොපොහොසත්

වි. නොහැකි; අසමත්; අපොහොසත්.

නොපෝනා

1. වි. නොසෑහෙන; දැරිය නොහැකි තරම් වූ.
2. වි. කෙනෙකුගේ මුළු උස ඉක්මවා යන; ගැඹුරු.

නොබා

1. ක්‍රි.වි. බිය නොවී; භය නැති ව; අභීත ව.
2. ක්‍රි.වි. (හිස කර ආදිය) පහත් නොකර; නොහෙළා.

නොබැඳි

වි. (ගිවිසුම් ආදියට) බැඳී නැති; අපක්ෂපාත; (බල කඳවුරකට) නැඹුරු නැති.

නොබුනු

වි. බිඳුණේ නැති; නොබිඳුණු; අභින්න.

නොබොරු

වි. බොරු නොවූ; ඇත්ත වූ; සත්‍ය වූ.

නොබෝ

වි. බොහෝ නොවූ; මඳ; ටික; ස්වල්ප.

නොමග

නා. වැරදි මාර්ගය; අයථා මග; නරක මාර්ගය; උත්පථය.

නොමද

වි. ටිකක් නොවූ; අනල්ප; අප්‍රමාණ.

නොමනා

1. වි. නොහොබිනා; නුසුදුසු; අයෝග්‍ය; වැරදි සහගත.
2. වි. අමනෝඥ; අප්‍රිය.

නොමනාප

1. වි. තරහ; නොසතුටු; අමනාප.
2. වි. නුසුදුසු; නොගැළපෙන.

නොමරූල්

[නොමර + ඌල්]
නා.ප්‍ර. වැලි රහිත දිය උල්පත.

නොමසුරු

වි. මසුරුකමින් තොර; ලෝභ නැති; නිර්ලෝභී.

නොමළ

වි. මැරුණේ නැති, නොමැරුණු.