සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1045

ප්‍රමාණත්වය

නා. පිළිගත යුත්ත ; පිළිපැදිය යුත්ත ; ආදර්ශය ; න්‍යාය මාර්ගය.

ප්‍රමාණඵලය

නා. ප්‍රත්‍යක්ෂ ඥානය ; යථාර්ථාවබෝධය.

ප්‍රමාණය

1. නා. කරුණක් අවබෝධ කිරීමට ඉවහල් වන පාදකය , න්‍යායය ; ධර්මය ; යථාර්ථ ඥානය. ආදර්ශය.
2. යථාර්ථ ඥානය.
3. යථාර්ථ ඥානය ඇති කරන ඉන්ද්‍රියාදිය ; ප්‍රත්‍යක්‍ෂඥානය ඇති කරන හේතුව.
4. තරම ; පමණ ; මහත ; විස්තාරය.
5. සීමාව ; මර්යාදාව.
6. මිනුම ; මානය ; මානදණ්ඩ ; සම්මත මානය.
7. ග්‍රහණ ශක්තිය ; ධාරිතාව ; දැරිය හැකි, රඳවාගත හැකි, තබාගත හැකි ප්‍රමාණය ; ඉඩ ඇති ප්‍රමාණය ; අවකාශය.
8. අවශ්‍ය ප්‍රමාණය ; අදාළ සම්භාරය ; මාත්‍රාව.
9. අනුපාතය අඩු වැඩිවීමේ ප්‍රමාණය.
10. ගණිතමය මානය ; රාශිය.
11. ජලයෙහි කඨිනත්වමානය.
12. වටිනාකම ; එකතුව.
13. යම් වස්තුවක දිග පළල ආදියෙහි විස්තාරය ; ව්‍යාප්තිය.
14. (පාඨශාලාවක) පන්තිය ; ශ්‍රේණිය.
15. වර්ධනය වීමේ දී එක ම අවස්ථාවේ පොදු මූලයකින් ශාඛා බෙදී ගිය සේ අනුමිත සත්ව යූථය.

ප්‍රමාණවත්

වි. සෑහෙන පමණ ; අවශ්‍ය තරම්.

ප්‍රමාණාත්මක

1. වි. මිනුමක් ඇතුළත් ; මානක ක්‍රමයක් අඩංගු ; අන්තර්ගත.
2. නියමිත මර්යාදා සහිත ; ප්‍රමාණ පිළිබඳ වූ.

ප්‍රමාණාතික්‍රමණය

[ප්‍රමාණ + අතික්‍රමණය]
වි. පමණ ඉක්මවීම ; සීමාව පසු කිරීම.

ප්‍රමාද කරනවා

ක්‍රි. කල්පසු කරනවා ; පමා කරනවා ; පරක්කු කරනවා.

ප්‍රමාද පාඨය

නා. ප්‍රමාදයකින්, අනවධානයෙන් ලියවුණු වාක්‍යය ; වාක්‍යාංශය ; වැරදි වගන්තිය ; පාඨය.

ප්‍රමාද විහාරි

වි. ඉඳුරන් පිනවාලීමෙහි නියැළී සිහිනුවණින් තොර ව දෙලෝ වැඩ සඳහා කිසිවක් නො කොට අලසකමින් ජීවත් වන ; ප්‍රමාදශීලි.

ප්‍රමාදචාරී

වි. ප්‍රමාදයෙන් යුක්ත ව වසන.

ප්‍රමාදදෝෂය

නා. අතපසු වීමකින් සිදු වන වරද ; සිතා මතා නොව අනවධානයෙන් සිදු වන දොස.

ප්‍රමාදය

1. නා. වැඩ කටයුතු කෙරෙහි ඇති උදාසීන බව ; සිහිනුවණින් තොර ව දෙලෝ වැඩ සඳහා කිසිවක් නො කොට මැළිකමින් කාලය ගෙවීම ; අනුද්‍යෝගය ; පමා බව.
2. නොසැලකිල්ල ; අනවධානය ; අතපසු වීම.
3. පරක්කුව ; ප්‍රපංචය.
4. දුර්වලතාව ; අඩුපාඩුව.

ප්‍රමාදී

1. නා.ප්‍ර. මත්පැන් බොන්නා.
2. දෙලොවට හිතකර කටයුත්තෙහි නො යෙදී ඉන්ද්‍රිය පිනවීමෙහි යෙදෙන්නා ; පින්දහම්හි අලසවන්නා.

ප්‍රමාපකය

නා. ප්‍රමාණ මැනීමේ උපකරණය ; මානයන්ත්‍රය ; මාපකය.

ප්‍රමාර්ජනය

නා. (ඇස් කන් ආදිය දෝෂ සහිත වූ විට) පුළුන් පාන්කඩ ආදියෙන් පිස දැමීම ; පිරිමැදීම.

ප්‍රමිත

1. වි. ප්‍රමාණ කරන ලද ; මනින ලද ; ගණන් ගන්නා ලද ; සීමා කරන ලද.
2. සම්මත කරන ලද ; සම්මත වූ ; ප්‍රමිත කරන ලද.

ප්‍රමිත කරනවා

1. ක්‍රි. මනිනවා ; මෙතෙකැයි ප්‍රමාණ කරනවා.
2. මිල ආදි නියමිත ප්‍රමාණය අනුව සියල්ල සකස් කරනවා ; සීමා නියම කරනවා ; ඒකස්වරූපී කරනවා.

ප්‍රමිත වචනය

නා. කාර්යයට පොහෝනා වදන් පෙළ ; ප්‍රමාණවත් වාඞ්මාලාව.

ප්‍රමිත සත්‍යය

නා. විද්‍යාත්මක සත්‍යය.

ප්‍රමිතිකරණය

නා. සම්මත තත්ත්වයෙන් නියම කිරීම ; නිෂ්පාදනවල තිබිය තත්ත්ව පැනවීම.

ප්‍රමිතිය

1. නා. ප්‍රමාණ හෙවත් සාධක මත බැසගනු ලබන නිගමනය ; යථාර්ථ ඥානය.
2. සම්මත කරන ලද්ද ; සම්මත ගුණ තත්ත්වාදිය.

ප්‍රමුක්ත

වි. මිදුණු ; ගැලවුණු ; නිදහස්.

ප්‍රමුක්තයා

නා. මිදුණු තැනැත්තා ; ගැලවුණු තැනැත්තා ; ස්වාධීනයා ; නිදහස් පුද්ගලයා.

ප්‍රමුඛ

1. වි. ප්‍රධානකොට ඇති ; පළමු ; මුල්කොට ගත්.
2. ශාක ප්‍රජාවක වඩාලාත් බලපාන විෂය වූ.