සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1048

ප්‍රලීන

1. වි. නැතිවුණු ; අභාවයට ගිය ; අපවත් වුණු.
2. අතුරුදහන් වුණු ; නොපෙනී ගිය ; අන්තර්හිත.

ප්‍රලුබ්ධ

වි. බලවත් ආශාවෙන් මැඩුණු ; ප්‍රලෝභයට පත් ; පෙලඹුණු.

ප්‍රලේඛනය

නා. රෝගියකුට ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු විසින් ලියා දෙනු ලබන ඖෂධ වට්ටෝරුව.

ප්‍රලේපය

නා. පිළියම් සඳහා ආබාධිත ස්ථානයෙහි ගල්වන ඖෂධය.

ප්‍රලෝභනය

නා. පොලඹවා ගැනීම; පෙලඹවීම.

ප්‍රලෝහ කරනවා

ක්‍රි. මහත් සේ ආශා කරනවා ; දැඩි සේ ඇලුම් කරනවා ; පෙලඹී යනවා.

ප්‍රවක්තෘ

1. නා.ප්‍ර. කියන්නා ; පඨනය කරන්නා ; පිරුවහන්නා.
2. බහුශ්‍රැතයා; බොහෝ ඇසූ පිරූ තැනැත්තා; ප්‍රවීණයා; විශාරදයා.

ප්‍රවඞ්ක

වි. අතිශයින් නැමුණු ; ඇල වුණු ; බෙහෙවින් වක් වුණු.

ප්‍රවඞ්ක දශකය

නා. මනුෂ්‍ය ජීවිතයෙහි අවුරුදු 70-80 අතර දශ වර්ෂය.

ප්‍රවචනය

1. නා. ත්‍රිපිටක බුද්ධ වචනය ; බුදුරදුන්ගේ ශ්‍රී මුඛ තෙවළා දහම.
2. ඉගැන්වීම; විස්තර කිරීම ; පඨනය.

ප්‍රවණතාව

1. නා. පැත්තකට වඩා බර වීම ; ඇල වීම ; ආතතිය.
2. (යමක් වෙනුවෙන් ඇති) වැඩි කැමැත්ත; අධිකතර රුචිය ; නැඹුරුව.
3. එක් අතකට යොමු වීම; නැම්ම.

ප්‍රවණය

1. නා. එක් දෙයකට බර වීම ; ඇල වීම ; නැමීම.
2. ක්‍රමානුකූල නැග්ම ; ක්‍රමයෙන් උස්වී යෑම.

ප්‍රවර

වි. අතිඋතුම් ; අතිශ්‍රේෂ්ඨ ; උත්කෘෂ්ට.

ප්‍රවරණය

නා. තෝරා ගැනීම ; වෙන්කර ගැනීම ; තේරීම.

ප්‍රවරය

1. නා. පාදයෙහි මාපට ඇඟිල්ලේ සහ දෙවෙනි පා ඇඟිල්ලේ පිහිටි චර්මය.
2. ගෝත්‍රයක ආදි ශ්‍රේෂ්ඨ පරපුර ; පරපුරක ආරම්භය.
3. උත්තම වූව ; අතිශ්‍රේෂ්ඨ වූව ; විශිෂ්ට වූව.

ප්‍රවරයා

නා. ගෝත්‍රයේ ආදි පුරුෂයා ; වංශාවලියේ ආරම්භකයා.

ප්‍රවර්තක

වි. පවතින්නට සලස්වන ; පවත්වන ; ක්‍රියා කරවන.

ප්‍රවර්තකය

නා. පවත්වන්න ; ක්‍රියා කරවන්න ; ඉදිරියට ගෙන යන්න.

ප්‍රවර්තකයා

1. නා. පවත්වන්නා ; පවතින්නට සලස්වන්නා ; රක්ෂකයා.
2. දියුණු කරන්නා ; අභිවෘද්ධි දායකයා ; සංරක්ෂකයා.
3. කූටෝපායයෙහි යෙදෙන්නා ; උපක්‍රමිකයා.

ප්‍රවර්තන අගය

(පාරිභා.) නා. ස්වභාව ධර්මයෙන් තමනට නියමිත කාර්ය කොට්ඨාසය කෘත්‍රිම බාධකවලින් හානි නොකර ගෙන, නොපිරිහෙළා පවත්වා ගැනීමට යම්කිසි ජීව ප්‍රණාලියක ඇති ශක්ති ප්‍රමාණය ; උන්නතිය නොනැසී පවත්වාගෙන යෑමේ බල තත්ත්වය.

ප්‍රවර්තන චක්‍රය

(පාරිභා.) නා. නියමිත කාලසීමාවක් තුළ විකිරණයට අසු කරනු ලැබීමෙන් පසු නො මැරී ඉතුරුවන ජීවීන්ගේ සංඛ්‍යාව හෝ ප්‍රතිශතය ; රේඛනයෙන් සෑදෙන චක්‍ර රේඛාව.

ප්‍රවර්තන චලනය

නා. යම් වේලාවක ඇති වූ චිත්ත වේගයක් නිසා ශරීරයේ අඞ්ගප්‍රත්‍යඞ්ග සෙලවීම ; ක්‍ෂණික චිත්තභාව අනුව කරන අඞ්ග වික්ෂේපණය.

ප්‍රවර්තන වියදම

නා. නැවත නැවත ඇති වන වියදම ; දිගින් දිගට පවත්නා වියදම ; පුනරාවර්තන වියදම.

ප්‍රවර්තනය

1. නා. පැවැත්ම ; පැවතීම ; ප්‍රවෘත්තිය
2. පැවැත්වීම ; ක්‍රියා කරවීම ; කාර්යානුයෝගය.
3. කරකැවීම ; පෙරළීම ; කැරකෙන්නට සැලැස්වීම.
4. ක්‍රියාවක් කිරීමට මෙහෙයවන චිත්ත ගතිය ; චිත්තාවේගය.
5. (පාරිභා.) ජීව කෘත්‍රිම බාධකවලින් නො නැසී දිගට ම ජීවත් වීම.