සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1047

ප්‍රයෝග කරනවා

1. ක්‍රි. යොදනවා ; යුක්ත කරනවා.
2. උපාය මාර්ගයන් සලසනවා ; උපක්‍රමයන් යොදනවා.
3. (ප්‍රතිකාර පිණිස) ඖෂධ යොදනවා.
4. මෙහෙයවනවා ; අණවනවා ; නියම කරනවා.

ප්‍රයෝගකාර

වි. කපටි උපාය මාර්ග යොදන ; වංචාකාර; ප්‍රයෝගී.

ප්‍රයෝගකාරයා

නා. කපටියා ; වංචනිකයා ; රැවටිලිකාරයා ; උපාමං යොදන්නා.

ප්‍රයෝගාභිසංස්කාරය

නා. කුසලයෙහි යෙදීම සඳහා සිත කය යන දෙක්හි ඇති කර ගත යුතු උත්සාහය ; කාය චෛතසික වීර්යය.

ප්‍රයෝජක

වි. (අන්‍යයකු මෙහෙයෙහි) යොදවන; වැඩකරුවන් කටයුතුවල නියුතු කරවන ; හේතු කර්තෘක.
1. නා.ප්‍ර. යමකු යම් මෙහෙයක යොදවන්නා ; මෙහෙයවන්නා.
2. අන්‍යයකු ක්‍රියාවෙහි යොදවන්නා වූ කර්තෘ ; හේතු කර්තෘ ; ප්‍රයෝජ්‍ය කර්තෘ.

ප්‍රයෝජනය

1. නා. ඵලය ; ලාභය; කාර්යසිද්ධිය.
2. හේතුව ; කාරණය.
3. නියෝගය.

ප්‍රයෝජ්‍ය

1. වි. යෙදිය යුතු ; මෙහෙයවිය යුතු.
2. රැඳී පවතින ; අන්තර්ගත ව තිබෙන.

ප්‍රයෝජ්‍ය ක්‍රියාව

නා.ප්‍ර. අනිකකු ලවා කරවනු ලබන කාර්යය දක්වන ක්‍රියාව ; පියෙදු කිරිය.

ප්‍රයෝජ්‍යතාවාදය

නා. සුචරිතය හා සත්ක්‍රියා ප්‍රායෝගිකව සංකලනය කොටගත් පාලන තන්ත්‍රය ; සාධාරණත්වය රජයන දේශපාලනය.

ප්‍රයෝජ්‍යය

1. නා. ප්‍රයෝජ්‍ය ක්‍රියාව.
2. යෙදීම ; මෙහෙයවීම.

ප්‍රයෝජ්‍යයා

නා. යමකුගේ මෙහෙයීමෙන් යම්කිසි ක්‍රියාවක්, කරන තැනැත්තා ; යොදනු ලබන්නා ; මෙහෙයවනු ලබන්නා.

ප්‍රරක්තාණු

නා.ප්‍ර. සුහුඹුල් ක්ෂීරපායීයන්ගේ රතු ඇට මිදුලුවල රතු රුධිරාණු සෑදීමට ඉවහල් වන සෛල.

ප්‍රරසය

නා. සියලු ජීව ද්‍රව්‍යවල පදනම වශයෙන් පවත්නා අර්ධ පාරදෘශ්‍ය, අර්ධ ද්‍රවමය ද්‍රව්‍යය ; ප්‍රාක්ප්ලාස්මය.

ප්‍රරූප උද්භිදය

නා.ප්‍ර. (උද්භිද ගෝත්‍ර දැක්වීමේ දී) ආදර්ශනයක් වශයෙන් දැක්විය හැකි පැළෑටිය ; නිදසුන් පැළය.

ප්‍රරෝහණ ආශයිකාව

(පාරිභා.) නා. ක්ෂීරපායී ස්ත්‍රී ලිංගික ප්‍රජනන බීජවල න්‍යෂ්ටිය ; අණ්ඩ සෛලයේ න්‍යෂ්ටිය.

ප්‍රරෝහණ ශක්තිය

(පාරිභා.) නා. කිසියම් බීජයක පැළවීමට ඇති හැකියාව ; සාමාන්‍ය ආකාරයට ජීවත් වීමට හා වර්ධනය වීමට ඇති පුළුවන්කම.

ප්‍රරෝහණය

නා. බීජයකින් පැළයක් හටගැනීම ; බීජයක් පැළවීම.

ප්‍රරෝහය

(පාරිභා.) නා. 1. අංකුරය ; මොටිය ; මොටෙය්යා.
2. පැළ හටගැනීම ; ප්‍රරෝහණය.
3. ශාකයක පොළොවෙන් ඉහළ තිබෙන කඳ කොළ ආදිය අන්තර්ගත කොටස.

ප්‍රලම්බ

1. වි. එල්ලෙන ; එල්බෙන ; ලම්බමාන.
2. (පාරිභා.) ඍජුකෝණික ; උදග්‍ර.

ප්‍රලම්බනය

1. නා. බලපැවැත්ම ; විරාජමාන වීම.
2. තැති ගැන්වීම ; බියකරවීම.
3. පෙලඹවීම ; කැමැති කරවීම.
4. සිතන්නාගේ දැනුමක් නොමැති ව ඔහුගේ සිතේ අවිඥානකව ඇති වන මතිය.

ප්‍රලය

1. නා. වැනසීම ; විනාශය ; විධ්වංශනය ; විලෝපනය.
2. කල්ප විනාශය ; ලෝක විනාශය ; යුගාන්තය.
3. දුරලීම ; දුරු කිරීම ; අභිභවනය ; පරාජය කිරීම.
4. යකුන් වැහීම ; භූතාවේශය ; භූතෝන්මාදය.
5. සියල්ල නැති වීම ; සෑම දෙයක ම අභාවයට යෑම.
6. සැලීම, වෙවුලීම, කම්පිත භාවය.

ප්‍රලය කාලය

නා. කල්පය විනාශ වන කාල පරිච්ඡේදය ; ලෝක විනාශ කාලය ; යුගාන්ත සමය ; ප්‍රලය සමය.

ප්‍රලය මන්ත්‍රය

1. නා. යකුන් පලවා හරින මන්ත්‍රය.
2. පුද්ගලයකු භූතාවිෂ්ට කරවන මන්ත්‍රය ; පරල කරවන මන්ත්‍රය.

ප්‍රලාපය

1. නා. හිස් බස ; පලක් නැති වචන ; අර්ථ විරහිත කථාව.
2. සිහියෙන් තොර ව කියනු ලබන තේරුමක් නැති වචන; නන්දෙඩවිල්ල.