සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1049

ප්‍රවර්තනවරය

(පාරිභා.) නා. කෘත්‍රිම බාධකයන් මැඩගෙන ස්වභාව ධර්මයෙන් අපේක්ෂිත කාර්යය ඉටුකර ගැනීමෙහි ලා ජීවියකුට ඇති හැකියා තත්ත්වය.

ප්‍රවර්ධනය

1. නා. බෙහෙවින් වැඩීම ; අතිමාත්‍ර වෘද්ධිය.
2. (පාරිභා.) ගණිතමය ගණන් බැලීම ; එකතු කිරීම.

ප්‍රවහණය

1. නා. මගීන් සහ බඩු බාහිරාදිය ඔබ-මොබ ගෙන යෑම ; රථවාහන මාර්ගයෙන් කෙරෙන ගමනාගමනය හා ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යෑම.
2. රෝගීන් හොවා උසුලගෙන යන ඇඳන් තට්ටුවක් වැනි උපකරණය ; ගිලන් මැස්ස.

ප්‍රව්‍රජ්‍යාව

නා. පැවිද්ද ; පැවිදිවීම.

ප්‍රව්‍රජිතයා

නා. පැවිදි බවට පත් තැනැත්තා ; පැවිද්දා.

ප්‍රවාදය

1. නා. ශ්‍රේෂ්ඨ මතය ; විශිෂ්ට ප්‍රකාශය ; උත්කර්ෂවත් වාදය.
2. කටින් කට පැවත එන පුවත ; මුඛ පරම්පරාගත කතාව ; ජනශ්‍රැතිය.
3. චාරිත්‍රය; සම්ප්‍රදායය ; ප්‍රවේණිය ; ක්‍රමය.
4. සංවාදයක් සඳහා ඉදිරිපත් කරනු ලබන මතය ; තර්කයෙන් ඔප්පු කළ යුතු වාදය.

ප්‍රවාරණය

1. නා. අවසර දීම ; ප්‍රතිඥා දීම ; භාරගැනීම.
2. සතුටු කිරීම ; පිනවීම ; ආරාධනය.
3. බෝ කිරීම; හට ගැන්වීම ; ප්‍රජනනය.
4. විරුද්ධ වීම ; තහනම.

ප්‍රවාරය

1. නා. වැස්ම ; ආවරණය ; ඇඳුම.
2. වැසීම ; මුවා කිරීම.

ප්‍රවාල

1. නා.ප්‍ර. ප්‍රධාන කොට ම රතු මුහුදේ සහ මධ්‍යධරණී මුහුදේ ඇති පැළෑටියක ආකාරයෙන් වැඩෙන රතුපාට ගල්මල් විශේෂයක් ; පබළු.
2. හිරිගල් ; කොරල් ගල්.
3. නොමේරූ කොළය ; තරුණ පර්ණීය.

ප්‍රවාල දාමය

නා. පබළු ඇමිණීමෙන් සකස් කරන ලද වැල ; පබළු වැල ; පබළු මාලය.

ප්‍රවාල පණුවා

නා. හිරිගල්, ගල් මල් ආදිය සාදන අති ක්ෂුද්‍ර, බහුපාදික, සමුද්‍ර ජීවි විශේෂයක්.

ප්‍රවාසය

1. නා. සිය රටෙන් හෝ පෙදෙසෙන් බැහැර ව විසීම ; විදේශගත වීම ; පරදේශ වාසය.
2. ප්‍රියයන්ගෙන් වියෝව විසීම ; වල්ලභයාගෙන් හෝ ප්‍රියාවගෙන් ඈත් ව කරන වාසය ; විරහ වාසය.
3. ග්‍රහයකුගේ ආලෝකය මුවා වීම ; අස්ත වීම ; ග්‍රහාස්තය.

ප්‍රවාසියා

නා. පිට පෙදෙසක හෝ රටක වෙසෙන්නා ; විදේශිකයා.

ප්‍රවාහක

වි. ගෙන යන්නා වූ ; උසුලාගෙන යන්නා වූ ; ප්‍රවාහණය කරන්නා වූ.

ප්‍රවාහකයා

නා. ගෙන යන්නා ; ප්‍රවාහණය කරන්නා.

ප්‍රවාහණය

1. නා. ප්‍රවහණය.
2. (ද්‍රවයක්) ගැලීම ; ගලා බැසීම.
3. අතීසාර රෝගය.

ප්‍රවාහය

1. නා. වේගයෙන් ගලා යන මහා ජලස්කන්ධය ; සැඩ දිය පහර ; මහෝඝය.
2. සාගරයේ ඇතැම් තැන්වල ගඟක් මෙන් ගලා ගෙන යන ජල ධාරාව ; දිය වැල ; ජල ස්‍රෝතය.
3. එක ම දිශාවට අනවරතයෙන් ගමන් කරන්නා වූ වායුව, විදුලිය වැනි බලවේගය.
4. යමක් කරා යොමුවන්නා වූ බලවත් හැඟීම ; කිසියම් අරමුණක් කරා එල්ලවන්නා වූ බලසම්පන්න වේදයිතය.
5. නොනවත්වා කරනු ලබන වේගවත් කථාව ; අඛණ්ඩ භාෂණය
6. ඉවත් කිරීම ; බැහැර කිරීම ; දුර ලෑම.

ප්‍රවාහි

වි. එක දිශාවකට ගමන් කරන ; දුවන ; ධාවනය කරන.

ප්‍රවිචාරණය

(පාරිභා.) නා. වෙනස සලකා බලා තෝරා ගැනුම.

ප්‍රවිදාරණය

1. නා. පිපිරීම ; කැඩීම.
2. ඉරීම ; පැළීම ; බෙදීම.
3. කෝලාහලය ; කලහය.
4. බිඳගෙන යෑම ; සිදුරු කරගෙන යෑම.
5. දලුලෑම.
6. යුද්ධය ; සටන.

ප්‍රවිධානය

නා. ක්‍රියාවේ යෙදවීමේ දක්ෂතාව හා කෞශල්‍යය ; ශිල්පීය කාර්ය විධානය.

ප්‍රවිවේකය

නා. පරිසමාප්ත විවේකය ; කාය, චිත්ත, උපධි යන ත්‍රිවිධ විවේකයෙන් යුක්ත වීම.

ප්‍රවිෂ්ට

වි. ඇතුළු වූ ; ප්‍රවේශ වූ ; පිවිසි.

ප්‍රවිෂ්ටය

නා. පිවිසෙන තැන ; ඇතුළු දොර.