සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1116

පූර්වමතිය

නා. මුලින් යම් මතයක එල්බ ගෙන යමක් පිළිබඳ තීන්දු ගැනීම; පක්ෂපාතීව තීරණයකට බැස සිටීම.

පූර්වමාර්ගය

නා. ඉදිරිමඟ ; පෙරමඟ.

පූර්වමෞඛ

(පාරිභා.) වි. මුඛය ඉදිරිපිට වූ ; පුරෝමුඛ.

පූර්වරූප

1. නා.ප්‍ර. රෝගයක් ප්‍රකට ලෙස මතුවීමට පෙර පහළ වන ලකුණු සමූහය ; රෝගයක් හැඳින ගැනීමට උපකාර වන ලකුණු ; පූර්ව ලක්ෂණ.
2. (ව්‍යාක.) පදයක් පෙරටුව (මුලින්) ඇති යම් අකුරක රූපය ඊළඟ ඇති අකුරටත් පැමිණවීම ; පූර්ව වර්ණයාගේ රූපය පරවර්ණයා විසින් ද ගනු ලැබීම.

පූර්වරූප සන්ධිය

නා. (ව්‍යාක.) සන්ධිවන පද දෙකින් මුල පදයේ අග පිහිටි ගාත්‍රාක්ෂරය පසු පදයෙ මුල පිහිටි ගාත්‍රාක්ෂරය වෙනුවට පැමිණවීමේ සන්ධි ක්‍රමය ; පෙරරූ සඳ.

පූර්වස්ථය

නා. මුලින් යොදා තිබෙන්න ; පෙරටුව සිටින්න.

පූර්වස්වරය

නා. (ව්‍යාක.) 1. සන්ධි වන පද දෙකින් මුල පදයේ අග පිහිටි ස්වරය.
2. ළං ළං ව පිහිටි ස්වර දෙකකින් මුලින් පිහිටි ස්වරය.

පූර්වස්වරලෝප සන්ධිය

නා. (ව්‍යාක.) සන්ධි වන පද දෙකින් මුල් පදයේ අග ස්වරය ලොප් ‍කොට ඉතිරිවන හල් අකුරට පර පදයේ මුල් පිහිටි ස්වරය පැමිණවීමෙන් සිදු කරනු ලබන සන්ධිය.

පූර්වාංගය

1. නා. (තර්ක.) නිගමනාත්මක වාක්‍යයක නිගමනයට පාදක වූ මුල් ඛණ්ඩය.

පූර්වාකෘතිවාදය

නා. (දර්ශන.) ජීවියකුගේ සියලු ම අවයව හා ආවේණික ලක්ෂණ බීජය තුළ ම පවතී යැයි ද ප්‍රජනනයේ දී වන්නේ ඒවා වැඩීම පමණකැයි ද යන මතය.

පූර්වාචාරී

නා.ප්‍ර. පළමුවන ගුරුවරයා ; ප්‍රථම ගුරුවරයා ; මව්පිය දෙදෙනා.

පූර්වාත්මභාවය

නා. කලින් ඉපිද සිටි ජන්මය ; පෙර ජන්මය ; පෙර අත්බැව.

පූර්වාදර්ශය

නා. ගුරුකමට ගත යුතු අතීත සිද්ධිය ; ආදර්ශයට ගනු ලබන පළමු සිදුවීම.

පූර්වාපර

1. වි. ප්‍රථම සහ අවසාන ; මුල හා අග.
2. නැගෙනහිර හා බස්නාහිර.
3. (පාරිභා.) පසුපස පෙරමුණේ පිහිටි ; පශ්චාද්භාගය ඉදිරිපිට ඇති.
නා.ප්‍ර. මුල හෝ මැද හෝ අග දැනගත් කල්හි ඉතිරි දෙකොටස ද දැන ගැනීමේ ශක්තිය.

පූර්වාපර න්‍යායය

නා. (තර්ක.) ප්‍රශ්නෝත්තර මඟින් සත්‍යය හෙළිකර ගැනීමේ ක්‍රමය.

පූර්වාපරසන්ධි ගලපනවා

ක්‍රි. (ජාතක) කථාවක අතීත කථාව හා වර්තමාන කථාව අතර සම්බන්ධතාව දක්වනවා.

පූර්වාර්ධගෝලය

[පූර්ව + අර්ධගෝලය]
(පාරිභා.) නා. භූගෝලයේ නැගෙනහිර අර්ධය.

පූර්වාර්ධය

1. නා. පළමු භාගය ; මුල් අඩ.
2. නැගෙනහිර පැත්තේ අර්ධය.

පූර්වාවර්තන මතය

නා. ළමයකුගේ වර්ධන අවස්ථාවෙහි දී මානව සංහතිය පිළිබඳ පරිණාමයේ යම් අවස්ථා පිළිබිඹු කෙරෙති යි යන මතය.

පූර්වාහ්ණය

නා. දවසෙහි මුල් කොටස ; ඉර මුදුන්වීමට පළමු කාලය ; පෙර වරුව.

පූර්විකාව

1. නා. පටන්ගැන්ම ; ආරම්භය.
2. පොතක හැඳින්වීම ; පෙරවදන ; ප්‍රස්තාවනාව.

පූර්වේනිවාසානුස්මෘති ඥානය

නා. බෞද්ධ දර්ශනය අනුව තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර අත්බව සිහිකර දැනගත හැකි ඥානය.

පූර්වෝක්තය

නා. පෙර කියූ දෙය ; කලින් පවසන ලද්ද.

පූර්වෝත්පත්තිය

නා. පෙර උපත ; පූර්ව ජන්මය.