සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1136

පෞද්ගලික නිදහස

නා. සම්මත සදාචාර හා නෛතික සම්ප්‍රදාය උල්ලඞ්ගනය නොකොට, ස්වකීය ජීවිතය රජයේ බලපෑමකට හෝ පාලනයකට යටත් නොවී පවත්වාගෙන යාම සඳහා පුද්ගලයකුට ඇති අයිතිය.

පෞද්ගලික ව්‍යවසාය

නා.ප්‍ර. පුද්ගලයකු විසින් තමාගේ ම ප්‍රාග්ධනය යොදා ස්වශක්තියෙන් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත වෙළහෙළඳාම් ආදිය.

පෞද්ගලික සංවර්ධනය

නා. පුද්ගලයකු ශාරීරික හා මානසික යන උභය පක්ෂයෙන් ම දියුණුවට පත් කරලීම.

පෞද්ගලිකාර්ථය

නා. තමාගේ යහපත සැලසීම ; තමාගේ ප්‍රයෝජනය ; ආත්මාර්ථය.

පෞර

1. වි. පුරයට අයත් ; නගරය හා සම්බන්ධ ; නාගරික.
2. යුද්ධකාර්ය හා අසම්බන්ධ වූ ; සාමාන්‍ය ජනතාවට අදාළවන.

පෞර රාජ්‍යය

නා. නගරයකට හා ඊට යාබද ප්‍රදේශත් ඇතුළත් ප්‍රදේශයට සීමාවන රාජ්‍යය.

පෞරයා

නා. රටක ස්ථිර ලෙස වාසය කරන්නා ; රටවැසියා ; පුරවැසියා.

පෞර්ණිමාන්ත මාස ක්‍රමය

නා. අවපෑළවිය පළමුවන දිනය ලෙසත් පුර පසළොස්වක අවසාන දිනය ලෙසත් සලකා චන්ද්‍ර මාස ගණන් ගැනීමේ ක්‍රමය.

පෞරාඞ්ගනාව

නා. පුර අඟන ; නාගරික කාන්තාව.

පෞරාණික

1. වි. පුරාණ කාලයට අයිති.
2. උසස් ලෙස පිළිගත්.

පෞරාණිකයා

1. නා. පුරාණ කාලයේ විසූ තැනැත්තා ; පැරැන්නා.
2. පුරාණ ග්‍රන්ථ හදාළ තැනැත්තා ; පුරාණ පිළිබඳ විශාරදයා.
3. පැරණි තොරතුරු කථා පුවත් ආදිය කියමින් හිඟමන් ඉල්ලන්නා.

පෞරුෂත්වය

නා. පුරුෂයෙකු සතු කාය ශක්තිය ; පරාක්‍රමය ; වීර්යය හා බලය.

පෞරුෂය

1. නා. පිරිමිකම ; පුරුෂත්වය ; පුරුෂ වීර්යය.
2. පුද්ගලයකුට ආවේණික වූ හැසිරීම් රටාව.
3. වැඩුණු මිනිසකුගේ උස ප්‍රමාණය.

ප’සල්පියුරික් අම්ලය

(පාරිභා.) නා. සියයට සල්පියුරික් අම්ලය ඉහළ ධාරා ඝනත්වයක් යොදා විද්‍යුත් විච්ඡේදනය කළ විට ලැබෙන අම්ලය.

ඵණකරයා

නා. පෙණය කරන්නා ; නාගයා.

ඵරණය

1. නා. පැතිර යෑම විහිදවීම.
2. සිරුර පුරා පැතිර සිටිනා සතුට.

ඵරසුව

නා. ගස් කැපීමට ගන්නා ආයුධයක් ; පොරොව.

ඵරිත

නා. (හාත්පස) පැතිරීගිය ; ව්‍යාප්ත වුණු.

ඵරුෂ

වි. රළු ; කර්කශ ; නපුරු.

ඵරුෂ වචන

නා.ප්‍ර. රළු වචන ; කර්කශ වචන.

ඵල

1. නා.ප්‍ර. සෝවාන්, සකෘදාගාමි ආදි මාර්ග චිත්ත සම්බන්ධ විපාක සිත.
2. ගෙඩිය ; පලතුරු.
3. අණ්ඩය ; අණ්ඩකෝෂය ; වෘෂණය.
4. විපාකය ; ආනිශංසය.
5. ලාභය ; ප්‍රයෝජනය.
6. ප්‍රතිඵලය.
7. මහබෝසතුන්ගේ සතර මහා නිධාන අතරින් එකක්.

ඵල අධිගම

වි. සෝවාන් ආදි ඵල ලැබූ ; ඵල අවබෝධ කළ.

ඵලක

වි. ලී පුවරුවලින් හෝ ලී පතුරින් කළ.

ඵලක පීඨය

නා. ලෑලි පුටුව ; සේදූ පාද තබාගන්නා පා පුටුව.