සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 118

අනුමෙවෙනි බණ

නා. දානමය පුණ්‍යකර්මයක් අවසානයෙහි දායකයාගේ සිත සතුටු කිරීම සඳහා කරන ධර්මදේශනය; අනුමෙවෙනි ධර්ම දේශනාව.

අනුමේය

නා.ප්‍ර. අනුමාන කළ යුත්ත; හේතු අනු ව නිගමනය කළ යුත්ත.

අනුමෝ

නා.ප්‍ර. අනුමෝදනය; පින් අනුමෝදන් වීම.

අනුමෝදනය

නා. පින් අනුමෝදන් වීම; දන්දීම් ආදියෙහි දී කරනු ලබන ධර්මදේශනාව.

අනුමෝදනාවත

නා. දන් වැළඳීමෙන් පසු දන් දීමෙහි අනුසස් දක්වා දායකයාගේ සිත සතුටු කිරීම සඳහා දහම් දෙසීමේ සිරිත.

අනුයාත

1. වි. අනු ව යන ලද; පිළිවෙළින් පැවත ආ.
2. (පාරිභා.) වි. අනුක්‍රමික; අනුපූර්ව.
3. වි. අතිරේක.

අනුයුක්ත

1. වි. සම්බන්ධ වූ; එකතු වූ.
2. වි. යෙදුණු; නියුක්ත; පත්කරන ලද.
3. වි. ප්‍රශ්න කළ; ඇසුවා වූ.

අනුයුඤ්ජනය

1. නා. නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම.
2. නා. ප්‍රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය.

අනුයොන්

නා.ප්‍ර. ප්‍රශ්නය; පිළිවිසීම; විභාග කර බැලීම.

අනුයෝගය

1. නා. නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම.
2. නා. ප්‍රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය.
3. නා. අදහස; මතය; විවාදය.

අනුයෝජනය

(පාරිභා.) නා. අනු ව යෙදීම; සම්බන්ධ කිරීම (=coupling).

අනුරක්ත

වි. ඇලුණු; ආසක්ත; ස්නේහවත්.

අනුරක්ෂණය

නා. නිතර රැකීම; රැකබලා ගැනීම; පාලනය කිරීම.

අනුරජ

නා. දෙවන රජ; උපරජ; ප්‍රතිරාජයා; යුවරජ.

අනුරඤ්ජකයා

නා. (සංගීතාදියෙන්) පිනා යන්නා; සන්තෝෂ වන්නා.

අනුරඤ්ජනය

1. නා. ඇල්ම; ආසක්තිය.
2. නා. සතුටු කිරීම; සතුට; ප්‍රීතිය.

අනුරත

වි. ඇලුණු; අනුරක්ත.

අනුරතිය

නා. ඇලීම; ඇල්ම.

අනුරා

වි. රතියෙහි ඇලුම් කළ; කාමුක.
නා.ප්‍ර. ඇල්ම; ආදරය; සෙනෙහස; අනුරාගය.

අනුරාග

1. නා.ප්‍ර. ඇල්ම; ආදරය; ස්නේහය; වාත්සල්‍යය.
2. නා.ප්‍ර. ආලය; කාමාශාව; සම්භෝග රසය.
3. නා.ප්‍ර. නිරත වීමේ ආශාව; උද්‍යෝගය.
4. නා.ප්‍ර. රතුපාට; රක්ත වර්ණය.

අනුරාවය

නා. හඬ අනු ව නගින හඬ; දෝංකාරය; ප්‍රතිරාවය.

අනුරිවින්

ක්‍රි.වි. අනුරූප වශයෙන්; සුදුසු පරිද්දෙන්.

අනුරුත්

වි. (ව්‍යාක.) අර්ථයට අනුකූල වූ; අන්වර්ථ.

අනුරුව

1. නා. යම් රූපයක් අනු ව නිෂ්පාදිත තවත් රූපයක්.
2. නා. සම හැඩය; සමාන ආකාරය.