සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1206

මරණය

නා. ජීවිතයාගේ අවසානය ; ජීවිත හානිය ; ප්‍රාණය නිරුද්ධ වීම.

මරණාතුරයා

නා. මාරාන්තික රෝගියා ; මරණීය රෝගයෙන් පෙළෙන්නා.

මරණාන්තික

වි. මරණය කෙළවර කොට ඇති ; මරණයෙන් අවසන් වන.

මරණාසන්න

වි. මරණයට ළං වූ ; මිය යෑමට කිට්ටු.

මරණීය

වි. මරණයට පමුණුවන ; මරණය ගෙන දෙන ; මැරෙන ; මිය යන.

මරණීය දණ්ඩනය

නා. අධිකරණයේ නියෝගය අනුව වරදකරුවකුට පමුණුවන මරණ දණ්ඩනය.

මරදන්වැලි

නා.ප්‍ර. සියුම් වැල්ල.

මරදාන

නා. වැලි සහිත පෙදෙස.

මරදූ

නා.ප්‍ර. වසවත් මාරයාගේ දියණියන් ලෙස සැලකෙන තණ්හා, රතී, රඟා යන තිදෙන.

මරනවා

1. ක්‍රි. ජීවිතය විනාශ කරනවා ; මරණයට පත් කරනවා.
2. පහර දෙනවා ; ගහනවා ; තළනවා ; හිංසා කරනවා.
3. එක් අරමුණකට යොමු කරනවා ; අන් අතක නොයවනවා.
4. (ඇස්) පියනවා ; (ඇස) බිමට හරවනවා.
5. අකුළනවා ; හකුළනවා.
6. (ඉඟියෙන්) අදහස් දක්වනවා.
7. වළකනවා ; නිදි මරනවා.
8. ක්‍රියාවෙන් වළකනවා.

මරරුපු

නා.ප්‍ර. මාරයාට සතුරු වූ තැනැත්තා ; මාර ශස්ත්‍රැ ; බුදුරජාණන් වහන්සේ.

මරවඩි

නා.ප්‍ර. පාවහන් ; පාදුකා.

මරවැල්ල

(පාරිභා.) නා. ජලය හා මිශ්‍ර ව බුරුල් සේ තැන්පත් වුණු වැලි තට්ටුව.

මරසෙනග

නා. මාර දිව්‍ය පුත්‍රයාගේ පිරිවර ; වසවර්තිමාරයාගේ සේනාව.

මරසෙන්

නා.ප්‍ර. මරසෙනග ; මාර දිව්‍යපුත්‍රයාගේ පිරිවර.

මරහඬ

නා. මරණාසන්න වූවකු නගන හඬ ; මරණ බයෙන් කෙනකු නඟන ලතෝනිය.

මර්කටයා

1. නා. වඳුරා ; වානරයා.
2. මකුළුවා.

මර්කරි

1. නා.ප්‍ර. රසදිය.
2. බුධ ග්‍රහයා.

මර්කියුරික් ඔක්සයිඩ්

(පාරිභා.) නා.ප්‍ර. රත්කරන ලද රසදිය සහ ඔක්සිජන් සම්මිශ්‍රණය.

මර්ජුවානා

නා. දුම්පානයක් ලෙස භාවිත කරන්නා වූ දෙයක නාමය ; කැනොබි පැලෑටියෙන් සාදාගනු ලබන මත්ද්‍රව්‍ය විශේෂයක්.

මර්ත්‍ය

වි. මරණයට ගොදුරු වන ; මිය යන සුලු ; මැරෙන.
1. නා.ප්‍ර. භූවනත්‍රයෙන් එකක් ; මිනිස් ලොව ; මනුෂ්‍ය ලෝකය ; පොළොව ; පෘථිවිය.
2. මිනිසා ; මනුෂ්‍යයා.

මර්ත්‍යතා අනුපාතිකය

(පාරිභා.) නා. දෙන ලද කාලසීමාවක් තුළ ජනගහනයෙන් 1,000කට සිදුවන මරණ සංඛ්‍යාව.

මර්ත්‍යතාව

(පාරිභා.) නා. දෙන ලද කාලසීමාවක් තුළ සිදුවන මරණ සංඛ්‍යාව.

මර්ත්‍යලෝකය

නා. මිනිස් ලොව ; මනුෂ්‍ය ලෝකය.