සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1248

මීනධ්වජ

1. නා.ප්‍ර. අනංගයා.
2. මකරාගේ රුව සටහන් කරන ලද කොඩිය.

මීනධාන

නා.ප්‍ර. මත්ස්‍යයන්ගේ බිජු ; මාළු බිජු.

මීනියා

වි. මෙයාකාර ; මේ බඳු ; මේ වැනි.

මීපටලය

නා. මී වදය.

මීපල්

1. නා.ප්‍ර. රජ ; නරනිඳු ; මහීපාලයා.
2. මී වදයෙන් ලබාගන්නා පැණි ; මී වදය.

මීමදයා

නා. මී නාම්බා ; තරුණ මී ගවයා.

මීමස්මර

නා.ප්‍ර. භ්‍රාන්ත වූ සිත් ඇති වීම, පෙණ වමනය, දත්මිටි කෑම, බිම ඇදවැටීම ආදි ලක්ෂණ ඇති රෝගය.

මීමාංසා

නා.ප්‍ර. විමර්ශනය පදනම් කරගත් දර්ශනය ; බ්‍රාහ්මණ ග්‍රන්ථවල සඳහන් යාගහෝම ආදිය පිළිබඳ විමසන ශාස්ත්‍රය.

මීමුත්තා

නා. සත්මුතු පරපුරේ අවසාන තැනැත්තා.

මීමුනුපුරු

නා.ප්‍ර. මුනුපුරාගේ පුතා.

මීය

1. නා. මී වදය.
2. පොළොව.

මීයන්

නා.ප්‍ර. මීයකු වාහනය කොට ඇත්තා ; ගණදෙවි.

මීයා

නා. ලෑටි ගාන වර්ගයට අයත් සත්වයකු වන මූෂිකයා.

මීර

වි. මිහිරි ; මධුර.

මීරන්

නා.ප්‍ර. මිනිරන්.

මීරස

නා.ප්‍ර. මධුර රසය ; මිහිරි රසය.

මීරා

නා.ප්‍ර. පොල් කිතුල් ආදියෙහි මලින් ලබා ගන්නා වූ ද, ස්වල්ප වේලාවකින් රා බවට හැරෙන්නා වූ ද රසවත් යුෂ ; තෙලිදිය.

මීරොන්

නා.ප්‍ර. මිහියෙන් හෙවත් පොළොවින් නැඟෙන රොන් වූ දූවිල්ල ; ධූලි.

මීලොල්

නා.ප්‍ර. මල් පැණිවලට ලොල් වූ මී මැස්සා.

මීසම

නා. කතෝලික සභා පාලනයට අනුව රදගුරුතුමා ගේ බල ප්‍රදේශය.

මුං

නා.ප්‍ර. ආහාරයක් වශයෙන් ගත හැකි ධාන්‍ය විශේෂයක්.

මුංගාරම

නා. නාරස්සනය ; අලවංගුව ; යවුල.

මුංමාරිය

(කථා.) නා. අහස් දියෙන් ගොවිතැන් කෙරෙන කුඹුර.

මුංවන්

වි. තද හරිත වර්ණයෙන් යුත් ; මුංඇට පැහැය ගත්.

මුකවෙටි

නා.ප්‍ර. සිංහල රාජ සමයේ පැවැති තනතුරක් ; ලේඛකාධිකාරි ; මොහොට්ටාල.