සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1247

මිහිර

1. නා.ප්‍ර. හිරු ; සූර්යයා.
2. රසය ; මධුර බව.

මිහිරි

වි. රසවත් ; මියුරු ; මධුර.

මිහිරි මාංසය

නා. අග්න්‍යාශය.

මිහිලොල්

වි. මල් පැණියෙහි ආශා ඇති ; මධුලෝල.
1. නා.ප්‍ර. මල් පැණියට ඇති ආශාව ; මධුලෝලත්වය.
2. මල් පැණියට ආශා කරන්නා ; මධුලෝලයා.

මිහිසුත

නා. පොළොවෙහි පුත්‍ර වන කුජ ග්‍රහයා.

මී

1. නා.ප්‍ර. මී පැණි.
2. මී වදය.
3. මල්පැණි.
4. රේණු ; රොන්.
5. ඡන්දස.
6. මී මැස්සා.
7. ගව විශේෂයක්; මී හරකා.
8. පොළොව ; පෘථිවිය.
9. ලෑටි ගාන සත්ව වර්ගයට අයත් මූෂිකයා ; මීයා.
10. ඇත්මදය ; ගජමදය.
11. මරණය.
වි. මධුර ; මිහිරි.

මී අඹ

නා.ප්‍ර. ඉතා මිහිරි රසින් යුත් අඹ වර්ගයක්.

මී කතුර

නා. මීයන් ඇල්ලීමට යොදන උගුල් විශේෂයක්.

මී කොටනවා

ක්‍රි. ගස්වල බැඳ ඇති මී වද කඩනවා.

මී ගුළාව

නා. විශාල මී වදය.

මී ගොනා

නා. මී හරකා.

මී පිඬු

1. නා. මී වදය.
2. මී පැණි යොදා සෑදූ අග්ගලාව.

මී මඬල

නා. පොළෝ තලය ; පෘථිවිය.

මී වදය

1. නා. මී මැස්සන් විසින් පැණි පිරවීමට සාදන ලද සිදුරු සහිත පටලය ; මධු පටලය.
2. කැවිලි වර්ගයක් ; කොණ්ඩ කැවුම්.

මී හැන්ද

නා. මී මැස්සා පැණි උරා බොන අවයවය.

මීඔඩම

නා. සුරා පිරූ බඳුන.

මීකත

නා. මහී කාන්තාව.

මීකිරි

නා.ප්‍ර. මී දෙනුන්ගෙන් ගන්නා කිරි.

මීටරය

(පාරිභා.) නා. 1. මෙට්‍රික් ක්‍රමය අනුව දිග මැනීමේ ඒකකයක් ; සෙන්ටි මීටර් 100ක දිග ප්‍රමාණය.
2. (ද්‍රව, විදුලිය, වායු පීඩනය ආදියේ) ප්‍රමාණ දැන ගැනීමට භාවිත වන මනුව ; මානක උපකරණය.

මීටර් ක්‍රමය

(පාරිභා.) නා. බර කිරීම සහ දිග, ධාරිතාව ආදිය මැනීමට ග්‍රෑම්, මීටර් හා ලීටර් පදනම්ව සකස් කරුණු දශම ක්‍රමය ; මෙට්‍රික් ක්‍රමය.

මීතයිල්

(පාරිභා.) නා.ප්‍ර. හයිඩ්රජන් පරමාණු එකක් හෝ එහි සමකයක් හෝ සමග සංයෝජනය විය කාණ්ඩය ; මෙතිල්.

මීතේන්

(පාරිභා.) නා.ප්‍ර. ගඳක්, සුවඳක් හෝ පාටක් නැති වායුවක්.

මීදුම

නා. ජල වාෂ්ප සහිත වායු පටලය ; ධූමිකාව.

මීන

1. නා.ප්‍ර. මාළුවා.
2. ග්‍රහචාරයේ රාශියක් ලග්නයක්.
3. කපුරු.