සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1260

මුවපොල්ලා

නා. මුව වස්සා ; මුව පොව්වා.

මුවර

1. නා.ප්‍ර. සුවිසල් මසකු සේ සැලකෙන මකරා.
2. මෝරා.
3. රාශි දොළසින් දස වැන්න වූ මකර රාශිය.

මුවර දජ

නා.ප්‍ර. මකරධ්වජයා හෙවත් අනඞ්ගයා ; මල්සරා ; කාමදේවයා.

මුවර ලොල

නා.ප්‍ර. සයුර ; සාගරය.

මුවරද

1. නා. මකරන්දය ; පරාග ; මල් රොන්.
2. මුවන් හෙවත් මෘගයන්ගේ අධිපතියා වන සිංහයා.

මුවරඳ

නා.ප්‍ර. පුෂ්ප මධුව ; මකරන්දය.

මුවරඳ කොතුරු

නා.ප්‍ර. පුෂ්ප රේණු මාලාව ; පරාගධානිය.

මුවරඳ පට

නා. වස්ත්‍රයක් මෙන් පැතිර පවත්නා මකරන්ද සමූහය.

මුවරඳ බර

වි. මකරන්දයෙන් පිරී ගිය.

මුවරඳ මුඩු

වි. පරාග තැවරුණු.

මුවරඳ වතුරු

නා.ප්‍ර. වතුර මෙන් ගලායන මකරන්දය.

මුවරඳකටා

නා.ප්‍ර. රේඛාවක් මෙන් විහිදුණු මල් රොන් පටිය ; මකරන්ද රේඛාව.

මුවලා

නා. මුවකුගේ රූප සටහන ඇත්තා.

මුවවිට

1. නා. භාජනයක ගැටිය ; බඳුන් ගැට්ට.
2. ආවාටයක් හෝ ප්‍රපාතයක් ආරම්භ වන ස්ථානය ; උස් බිමක කෙළවර ; දාරය.
3. වහලේ පලයක කෙළවර.
4. රෝදයේ වට රවුම.
5. පැදුරු, පෙට්ටි ආදියෙහි වාටිය ; මෝවිට.
6. ජලාශ අද්දර පිහිටි ගොඩබිම.

මුවහ

1. නා.ප්‍ර. දුෂ්කර වූව ; ළඟා විය නොහැක්ක ; දුර්ගම්‍යය.
2. සැඟවීම ; වැසීම ; ආවරණය කිරීම.
3. වැසුණු නිලීන ස්ථානය.
1. වි. සැඟවුණු ; ආවරණය වුණු.
2. නිමවන ලද.

මුවහ කරනවා

1. ක්‍රි. වසනවා ; ආවරණය කරනවා.
2. හංගනවා ; වසන් කරනවා.
3. අවුරනවා ; බාධා කරනවා.
4. අඳුරු කරනවා ; දීප්තිය නැති කරනවා.

මුවහත

නා. ආයුධයක කැපෙන දාරය.

මුවහස් බිඳිනවා

ක්‍රි. කට අරිනවා ; නිශ්ශබ්දතාව බිඳිනවා ; කතා කරනවා.

මුවා

නා. සිවුපා වර්ගයක් සිවුපා ; මිග.
ප්‍රත්‍ය. එයින් කරන ලද ; නිර්මාණය වූ.

මුවාපස

1. නා. අශුචි ; ශරීර මලය.
2. නොපෙනෙන පැත්ත ; පසු පස.

මුවාපසගෙය

නා. වැසිකිළිය ; ශරීරකෘත්‍යය කරන කුටිය.

මුවාව

නා. ආවරණය වූ ස්ථානය ; සැඟවිය හැකි ස්ථානය.

මුෂ්ටි

නා.ප්‍ර. ගැටපිච්ච මල්.

මුෂ්ටිය

1. නා. නමා ගුළි කරන ලද ඇඟිලි සහිත අත්තල ; මොලවන ලද මිට.
2. මිටින් ගත හැකි ප්‍රමාණය.
3. බර මිණුම් ප්‍රමාණයක් ; පලම ; කලන් දොළහ.
4. දිග මිණුම් ක්‍රමයක්.