සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1259

මුලිංචිය

නා. ලජ්ජා ගෙන දෙන කරුණ ; තීන්දුව.

මුලික අධ්‍යාපනය

නා. පදනමක් වශයෙන් මුලින් ම ලබන ප්‍රාථමික ඉගෙනීම.

මුලිච්චිය

(කථා.) නා. මුණ ගැසීම ; හමුවීම.

මුලු

1. නා.ප්‍ර. මුල ; මූලය ; අලය.
2. රාබු අලය.
3. ගොඩනැගිල්ලක් ඇතුළත බිත්ති දෙකක් සම්බන්ධ වන ස්ථානය ; රහසිගත ස්ථානය.
1. වි. මුල් කොට ඇති ; ප්‍රධාන හේතුව කොට ගත්.
2. සියලු ; සම්පූර්ණ.

මුලු ගසනවා

ක්‍රි. ඒ ඒ තැන්වල රැස් කර තබනවා ; සඟවනවා.

මුලු ගැන්වෙනවා

ක්‍රි. පසු බසිනවා ; ඉදිරියට ඒමෙන් වැළකී සිටිනවා ; යටපත් වෙනවා ; ලැජ්ජාශීලී වෙනවා.

මුලුනේ

නා. දැනගත යුතු සියල්ල ; සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති යන කරුණු සමූහය.

මුලුනේ මඬල

නා. සකල ඥේය මණ්ඩලය.

මුලුපුටනවා

[මුල් + උපුටනවා]
ක්‍රි. සහමුලින් වනසනවා ; මූලොත්පාටනය කරනවා.

මුලුල්ල

1. නා. සියල්ල.
2. සම්පූර්ණ කාලපරිච්ඡේදය.
3. හාත්පස ; සියලුම තැන.

මුලුසර

වි. සැඟවුණු ; අප්‍රකට.

මුව

1. නා.ප්‍ර. කට ; මුඛය.
2. කොපුල් තලය ; කපෝලය.
3. (භාජන ආදියෙහි) කට.
4. ආයුධ ආදියෙහි සිදුර ; හිල.
5. මුහුණ ; වක්ත්‍රය ; වත.
6. පීදුණු කෙසෙල් ගසක මල් සහිත වූ කෝෂය ; කෙසෙල් මුවය.
7. ආයුධ ආදියෙහි මුවහත.
8. ඊතලය ; ඊය.
9. සා, මුව, වඳුරු, කොටි ආදී සිවුපා සතුන් හඳුන්වන නාමය.
10. මුහුර්තය ; සිංහල පැය දෙකක් පමණ වූ කාලය.

මුව කඩ

නා.ප්‍ර. මුහුණ පිස්නා කුඩා රෙදි කඩ හෙවත් තුවාය.

මුව තණ

නා.ප්‍ර. දිය රහිත තැනිතලා පෙදෙස්හි, ඈතට ජලය මෙන් පෙනෙන සූර්ය රශ්මිය ; මෘග තෘෂ්ණ ; මිරිඟුව.

මුව තුඩ

නා.ප්‍ර. තුඩක් සහිත මුඛය ; (පක්ෂි සිවුපා ආදීන්ගේ) තුඩ සහිත ස්වභාවයෙන් යුත් කට.

මුව නැබ

1. නා.ප්‍ර. මුවාගේ නැබ හෙවත් පෙකණිය.
2. මුව වර්ගයක නැබෙහි තැන්පත් ව ඇති සුවඳ ඖෂධය ; කස්තුරි.

මුව බිල

නා.ප්‍ර. මුඛය තුළ පිහිටි ශබ්ද උපදින කුහරය ; උගුරු සිදුර.

මුව මද

නා.ප්‍ර. මුවාගේ නාභියෙන් ලබා ගන්නා ඖෂධීය ද්‍රව්‍යය ; කස්තුරි.

මුව රැස

නා. මකර රාශිය.

මුව හොරය

නා. කට හඬ ; මුඛ ස්වරය.

මුවඟන

[මුව + අගන]
නා.ප්‍ර. මුව දෙන ; මෘග ධේනුව.

මුවදඩ

1. නා.ප්‍ර. මුවන් සිටින වනය.
2. මුව දඩයම.

මුවදොර

1. නා.ප්‍ර. කට ; මුඛය.
2. ගඟක් මුහුදට වැටෙන තැන ; මෝය ; මෝදර.

මුවපා

1. නා.ප්‍ර. මෘගරාජයා ; සිංහයා.
2. වරිච්චි ලීය.