සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1338

රාජ අභිමානය

නා. රජකු කෙරෙහි පැවතිය යුතු උදාර ගතිය ; රජකුගේ තේජස්වි ගතිය.

රාජ අම්ලය

නා. සාන්ද්‍ර නයිට්‍රික් අම්ල හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ල මිශ්‍රණයෙන් ලැබෙන ඉතා ශක්තිමත් අම්ලය.

රාජ ආඥාව

රජ අණ බ.

රාජ ආණ්ඩුව

නා. රජකුගේ නායකත්වය යටතේ පවතින පාලන ක්‍රමය.

රාජ ආයතනය

නා. රාජ්‍යය පිළිබිඹු කරන සංකේතය ; රාජ්‍ය මූර්තිය.

රාජ ආයිත්තම්

නා.ප්‍ර. රජකුගේ සම්පූර්ණ ඇඳුමට අයත් විවිධ ආභරණ ; රාජාභරණ.

රාජ ඇල්

නා.ප්‍ර. ඇල් වී වර්ගයක්.

රාජ උදහස

1. නා. රජුගේ කෝපය.
2. රජුගෙන් පැමිණෙන දඬුවම ; රාජ දණ්ඩනය.

රාජ ඍද්ධිය

නා. රජුගේ තේජස ; රාජ මහිමය.

රාජ කකුළුවා

නා. විශාල කරදිය කකුළු වර්ගයක්.

රාජ කටකය

නා. රාජ පරපුර ; රාජ පරම්පරාව.

රාජ කදලි

නා.ප්‍ර. බොහෝ ගෙඩි හට ගැනෙන කෙහෙල් වර්ගයක්.

රාජ කන්‍යාව

නා. අවිවාහක රජ කුමරිය.

රාජ කරණය

නා. රජකම් කිරීම ; රාජ්‍ය පාලනය.

රාජ කර්ම

නා.ප්‍ර. වේද යාග හෝම මන්ත්‍ර විශේෂයක්.

රාජ කරුණාව

1. නා. රජුගේ හොඳ හිත ; අනුකම්පාව ; සුහදතාව.
2. රජුගෙන් ලැබෙන සම්මානය.

රාජ කවියා

නා. රාජ සභාවේ කවියා.

රාජ කාන්තාව

නා. රජුනට අයත් ස්ත්‍රිය ; රාජවංශයට අයත් ස්ත්‍රිය.

රාජ කුලය

නා. රජුන්ගේ වංශය ; රජුනට නෑකම් දරන පිරිස.

රාජ කුළුපග

වි. රජුන් හා හිතවත් ; රජුන් හා විශ්වාසී ; රාජකීය මිත්‍ර.

රාජ කොන්තය

නා. රජතුමාගේ කුන්තායුධය ; හෙල්ල හෙවත් තෝමරය ; රාජ්‍ය සංකේතයක් සේ භාවිත වුණු කොන්තය.

රාජ කෝලාහල

නා.ප්‍ර. පැරණි නාට්‍ය කලාවේ භාවිත වුණු බෙර තාලයක්.

රාජ ගුණය

නා. රජුන් කෙරෙහි පැවති යහ ගුණයක්.

රාජ ගෞරවය

නා. රජතුමා කෙරෙහි දක්වන භක්ත්‍යාදර බුහුමන.