සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1402

ලියන අප්පු

1. නා.ප්‍ර. පුස්කොළ පොත් ලිවීමෙහි හා පිටපත් කිරීම් ආදි කාර්යයෙහි නිරත පුද්ගලයා ; පුස්කොළ පොත් ලියන්නා.
2. ලිවීමෙහි නියුක්තයා.
3. (කථා.) මීයා ; මූෂිකයා.

ලියන කටුව

1. නා. ලී බඩු කැටයම් ආදිය ලියවීමට උපකාරි වන වඩු උපකරණයක්.
2. දෑකැත්ත.

ලියන කඳ

නා.ප්‍ර. ලියන පට්ටලය ; ලේස්-යන්ත්‍රය.

ලියන කැතිබෝය

නා. කිතුල්, පොල් ආදියෙහි මල් මැදීමේ දී භාවිත කරන පිහිය ; මල් කපන පිහිය.

ලියන නයිදේ

නා.ප්‍ර. (පුරාණයේ) ලේඛන කාර්යයෙහි යෙදුණ පුද්ගලයා ; ලිපිකරුවා.

ලියන පටිය

නා. ලියවන පට්ටලයෙහි රෝදය හා සම්බන්ධ පටිය.

ලියන රෝදය

නා. ලියවන පට්ටලයෙහි රෝදය විශේෂයෙන් දැව දඬු ආදිය ලියවන්ට උපකාරී වන පැරණි ලියන පට්ටලයෙහි රෝදය.

ලියන වඩුවා

නා. ලී දඬු ආදියෙහි කැටයම් කපා මෝස්තර කපන තැනැත්තා.

ලියන ශිල්පය

නා. ලියවන පට්ටල් උපයෝගී කර ගනිමින් විශේෂයෙන් දැව හැඩ කැපීම හා කැටයම් කර ගැනීම පිළිබඳ ශිල්පය.

ලියනපට්ටලය

නා. දැව ආදි දඬු කරකැවෙන්නට සලස්වා, තියුණු ආයුධවලින් ඒවා අවශ්‍ය හැඩයට ලියා ගැනීම සඳහා භාවිත කරනු ලබන යන්ත්‍රය.

ලියනරාල

නා.ප්‍ර. මහනුවර රාජධානි සමයෙහි අයබදු එකතු කිරීමෙහි උදවු වූ සුළු නිලධාරියෙක්.

ලියනවා

1. ක්‍රි. අකුරු උපයෝගී කරගෙන යමක් සටහන් කරනවා ; පෑන් පැන්සල් ආදියෙන් කිසිවක් සටහන් කරනවා.
2. යමක් ඉතා සිහින් ව කපනවා ; පට්ටල නම් යන්ත්‍ර භාවිතයෙන් දැව ආදියෙහි කැටයම් බොරදම් ආදිය කපනවා.
3. අඩු කරනවා ; තුනී කරනවා ; සිඳිනවා ; ක්ෂය කරනවා.

ලියන්නා

1. නා. ලිවීමේ කටයුතු කරන පුද්ගලයා ; ලිපිකරුවා.
2. මහනුවර රජ සමයෙහි ගමේ රාජකාරි කටයුතු පිළිබඳ සියලු ම ලිපිලේඛන සකස් කළ නිලධාරියා ; දිශාව යටතේ සිටි මුලාදෑනියා.
3. මස් ආදි යමක් කැබලිවලට කපන්නා.
4. දැව, ඇත් දළ ආදියෙන් කැටයම් කපන තැනැත්තා ; පට්ටලයේ ලියන්නා.
5. ගොයම් කැපීමට ඉවහල් වන ආයුධය ; දෑකැත්ත.
6. (කථා.) මීයා ; මූසිකයා.

ලියන්නාව

1. නා. ගොයම් ලියන්ට (කපන්ට) උපයෝගී වන ආයුධය ; දෑකැත්ත.
2. කැපීම සඳහා ප්‍රයෝජනවත් පිහි උදලු ආදි ආයුධයක්.

ලියපඤ්ජර

නා.ප්‍ර. වැල් ආකාර කැටයමින් අලංකාර කළ කවුළුව ; ලතා කවාටය.

ලියපත

නා. වැල්කොළ මෝස්තරය ; කැටයම් කරන හෝ අඳින ලිය කොළ සටහන ; ලතා පත්‍රය.

ලියපල්ල

නා.ප්‍ර. වැල් දළු ; ලතා පල්ලව.

ලියම

නා. දේපළට අදාළ ණය ආපසු දෙන තෙක් ඒවායේ සන්තකය හෙවත් අයිතිය තබාගැනීමට ඇති නීතිමය හිමිකම ; ණය ගෙවනතුරු දේපළ තහනම් කර ගැනීමේ බලය.

ලියමඬුලු

නා.ප්‍ර. වැල් එතීම නිසා මණ්ඩලාකාර ව සැදුණ ඕවරකය ; ලියගොමුව.

ලියමන

1. නා. ලියන ලද දෙය ; ලියවිල්ල ; ලිපිය ; ලේඛනය ; ලිඛිතය.
2. තොරතුරු, පණිවිඩ ආදි යමක් සඳහන් කොට අතින් හෝ තැපැල් මඟින් හෝ යවන ලේඛනය ; ලියුම ; හසුන ; සන්දේශය.

ලියමල්

නා.ප්‍ර. වැල්මල් ; ලතා කුසුම ; ලතා පුෂ්ප.

ලියමිණි

නා.ප්‍ර. කාන්තා රත්නය ; ශ්‍රේෂ්ඨ කාන්තාව.

ලියරැස

නා.ප්‍ර. රාශි චක්‍රයේ හයවැන්න ; කන්‍යා රාශිය ; කන්නි රැස.

ලියලනවා

1. ක්‍රි. තුරුලිය ආදිය, අතු රිකිලි ළා දලු දමා වැඩෙනවා.
2. අදහස් හැඟීම් ආදිය වැඩි දියුණු වෙනවා.