සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1401

ලිබරල් පක්ෂය

1. නා. අවශ්‍යතාවලට සරිලන සේ අණ- පනත් වෙනස් කළ යුතු ය, යන නිදහස් මතය දරන බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂය.
2. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂයක්.

ලිමනයිට්

නා.ප්‍ර. යකඩ ලබාගන්නා පස් ; යපස්.

ලිම්නේයා

නා.ප්‍ර. පරපෝෂිත හා ඝන ජීවි සතුන්ගේ ජීවත්වීමට ද්විතීය ධාරකයකු වන්නා වූද පුල්මොනාටා ගණයට අයත් වූද දිය ගොළු බෙලි වර්ගයක්.

ලිම්නේයා ඔවාටා

නා.ප්‍ර. ජලචර ගොළුබෙලි විශේෂයක්.

ලිම්පනය

1. නා. හුණු සායම් තීන්ත ආදිය ගෑම ; ආලේපය; තැවරීම ; ගැල්වීම ; ආලිම්පනය.
2. යමක් කෙරෙහි ඇතිවන ඇලෙනසුලු ස්වභාවය ; ඇලීම; ගැලීම.

ලිම්බෝ

නා.ප්‍ර. මළවුන්ගේ ආත්ම නතරවී සිටින ස්ථානය සේ සැලකෙන පාතාලය ; ජේසුස් වහන්සේ මනුෂ්‍යත්වය ලැබීමට පෙර සිටි ස්ථානය.

ලිමුලුස්

(පාරිභා.) නා.ප්‍ර. විශාල කකුළු වර්ගයක් ; රජ කකුළුවා.

ලිය

1. නා.ප්‍ර. ගස් ආදියේ එතෙමින් හෝ බිම දිගට දුවමින් වැඩෙන ශාකය ; වැල ; ලතාව.
2. ගැහැනිය ; ස්ත්‍රිය ; කාන්තාව.
3. රිකිල්ල.
4. නිවාසය.
5. ගායන වාදන නර්තන ආදියෙහි සම වූ කාල ප්‍රමාණය ; තාලය.
6. වෙහෙස ; විඩාව.
7. හානිය ; විනාශය.
8. තීන්දුව.
9. සමබව ; සමානතාව.
10. අත් වළල්ල.

ලිය ඕවිලි

නා.ප්‍ර. වැල්වලින් සෑදුණ ඔංචිල්ලාව.

ලිය කිඳුරා

නා. මිනිසාගේ මෙන් උඩුකයක්ද ලිය ගොමුවක ආකාර යටි කයක්ද ඇතැයි සලකන කිඳුරු වර්ගයේ සත්ත්වයා ; ලතා කින්නරයා.

ලිය හෝවිල්ල

නා. වැලින් සෑදුණු ඔංචිල්ලාව ; වැල් එතීමෙන් සෑදුණු හෝවිල්ල ; ලිය ඕවිල්ල.

ලිය ළැහැබ

නා.ප්‍ර. වැල් ගාල ; ලතා ගුල්මය.

ලියකම්

1. නා.ප්‍ර. චිත්‍ර හා කැටයම් ආදිය ; අලංකරණය සඳහා අඳිනු ලබන වැල් සටන් මෝස්තරය ; ලතා කර්මය.
2. රූ සටහන ; කැටයම ; චිත්‍ර පුවරුව.

ලියකින්නරාව

නා. ලිය කිඳුරාගේ ගැහැණු සත්වයා ; ලිය කිඳුරිය.

ලියගී

නා.ප්‍ර. ලතාවකට අනුව කෙරෙන ගායනය ; ඉතා මිහිරි ගායනය.

ලියගොමුව

නා. වැලින් එතී වට වී ගොමුවක් මෙන් සෑදුණ තැන ; ලතා ගුල්මය ; ලතා මණ්ඩපය.

ලියගොල්ල

නා. කාන්තා සමූහය ; ස්ත්‍රී සමූහයා.

ලියචාප

1. නා.ප්‍ර. වැල් උපයෝගී කොටගෙන තැනූ දුන්න ; ලිය සැවු ; ලතා චාපය.
2. වැල් දුන්න ගත් පුද්ගලයා ; ලතා චාපයක් ඇත්තා ; අනංගයා.

ලියතඹර

නා.ප්‍ර. කාන්තා රූපයට සමාන දැකුම්කලු ස්වභාවයක් දරන හෙයින් තවුසන් වුව ද දැහැනින් මුදවීමට සමත් යැයි විශ්වාස කරනු ලබන මල් විශේෂයක්.

ලියතොරණ

නා. වැල් සැරසිලි උපයෝගි කොට ගෙන තනනු ලබන තොරණ.

ලියදඬු

නා.ප්‍ර. වැල් දඬුව ; ලතා මණ්ඩපය.

ලියදඬු වැටපහන්

නා.ප්‍ර. ලී දඬු සිටුවා ඒ මත දල්වන ලද පහන් පෙළ.

ලියද්ද

නා. කුඹුරක් තුළ නියරවල් බැඳීමෙන් විශේෂයෙන් දිය රඳවා තැබීම සඳහා එකිනෙක වෙන් කළ කුඩා කුඹුරු කොටස.

ලියදි ගොවිතැන

නා. කුඹුරක් ලියදි වශයෙන් කුඩා කොටස්වලට නියරවලින් වෙන් කොට කෙරෙන ගොවිතැන.