සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1454

වර්ග සංඝයා

නා. භේද භින්න වූ, වෙන් වූ භික්ෂූන් වහන්සේලා

වර්ග සමීකරණය

නා. රාශියක වර්ගය දැක්වෙන සමීකරණය; ගණිත ක්‍රම ආශ්‍රිත සංක්ෂිප්ත කර දැක්වීමේ විශේෂ විධි.

වර්ග සැතපුම

නා. අක්කර 640 ක ප්‍රමාණය ; දිගින් සැතැප්මක් ද පළලින් සැතැප්මක් ද වන වර්ග ප්‍රමාණය.

වර්ගඥයා

නා. එක් එක් විශේෂ වූ කොටස්වලට බෙදා වර්ග කර දක්වන්නා.

වර්ගණාව

නා. වර්ගවලට බෙදුණ කොටස ; පන්තිය.

වර්ගඵලය

නා. වර්ග ප්‍රමාණය බ.

වර්ගමූලය

නා. වර්ග සංඛ්‍යාවට මුල් වන සංඛ්‍යාව : වර්ග සංඛ්‍යාවක් ලැබීම පිණිස ගුණ කළ සංඛ්‍යාව.

වර්ගය

1. නා. ඒ ඒ කොටස ; ජාතිය ; පොදු සමූහය.
2. හෝඩියේ පොදු ලක්ෂණ ඇති අකුරු කාණ්ඩය.
3. යම් සංඛ්‍යාවක් එයින්ම ගුණ කළ විට ලැබෙන ගුණිතය ; යම් සංඛ්‍යාවක දෙවන බලය.
4. කුලය ; වංශය.
5. ග්‍රන්ථයක පරිච්ඡේදය.

වර්ගවාදය

නා. පන්ති භේද වාදය ; සමාජය ඒ ඒ තරාතිරම් අනුව කොටස් වී ඇතැයි සලකන මතවාදය ; පත්ති භේදය මුල් කරගත් සමාජ මතය.

වර්ගස්ථ

වි. යම් ග්‍රහයෙක් සිය රාශිය, හෝරාව, නවාංශකය ආදියේ ස්ථානගතව සිටි ; යම් ග්‍රහයෙක් ස්වකීය වර්ගයේම පිහිටි.

වර්ගාක්ෂර

නා.ප්‍ර.බහු. ක, ච, ට, ත, ප යන වර්ග පහට අයත් අක්ෂර ; ස්පර්ශාක්‍ෂර.

වර්ගාන්තය

නා. වර්ගයේ අන්තය ; ඒ ඒ වර්ගවල අවසානය ; ඞ, ඤ, ණ, න, ම යන අක්ෂර.

වර්ගීකරණ විද්‍යාව

නා. කොටස් කර විග්‍රහ කිරීමේ ශිල්පීය ක්‍රමය.

වර්ගීකරණය

නා. කොටස් වශයෙන් වෙන් කර විග්‍රහ කර දැක්වීම.

වර්ගීය

වි. වර්ගවලට අයත් ; වර්ගික.

වර්ගේටය

නා. අනුමාන වශයෙන් අක්කර තිහක පමණ ප්‍රමාණය.

වර්ගෝ

නා.ප්‍ර. රාශි චක්‍රයේ හයවැනි රාශිය ; කන්‍යා රාශිය.

වර්චස්

නා.ප්‍ර. ගුද මාර්ගයෙන් පහ කරන අපද්‍රව්‍යය ; අසූචි ; මල ; වසුරු.

වර්චස් කුටිය

නා. වැසිකිළිය ; මල පහ කරන ස්ථානය.

වර්ජනය

1. නා. දුරු කිරිම ; බැහැර කිරිම.
2. ඉල්ලීමක් ලබාගැනීමට හෝ විරෝධය පෑමට හෝ සේවකයින් විසින් කරනු ලබන තාවකාලික වැඩ නැවැත්වීම.

වර්ජනීය

වි. දුරු කළ යුතු ; අත්හළ යුතු ; ඈත් කළ යුතු.

වර්ජිත

වි. ඉවත් කළ ; බැහැර කළ.

වර්ණ අන්ධතාව

නා. ඇතැම් වර්ණ අනෙක් ඒවායින් වෙන් කොට අඳුනා ගැනීමට නොහැකි බව හෝ ඇතැම් වර්ණ නොපෙනීම.

වර්ණ අපේරණය

නා. කාචය ප්‍රිස්මයක් ලෙස ක්‍රියාකරමින් වර්ණවත් වාටි සහිත ප්‍රතිබිම්බයක් ඇති වීම.