සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1566

විහග

1. නා.ප්‍ර. පක්ෂියා ; කුරුල්ලා ; විහඞ්ගමයා.
2. සූර්යයා.
3. සඳ.
4. වැස්ස.
5. ඊතලය.

විහගාධමයා

නා. පක්ෂීන් අතර පහත් නීචයා ; කපුටා.

විහගාධිප

නා.ප්‍ර. පක්ෂීන්ගේ අධිපතියා ; ගුරුළා.

විහඟලේනා

(පාරිභා.) නා. මූෂික වර්ගයට අයත් වූ ද, පොකුරු වලිගයක් හා උල් කන් ඇති ගස් උඩ පැන පැන යන සත්ත්ව වර්ගයක් ; හම්බාවා.

විහත

1. වි. නසන ලද ; වනසන ලද ; විනාශ කරන ලද.
2. පෙළන ලද ; තළන ලද ; පහරදෙන ලද.

විහතමානි

වි. නසන ලද මානය ඇති ; ආඩම්බර රහිත
නා.ප්‍ර. නසන ලද මානය ඇත්තා.

විහතල

නා.ප්‍ර. අහස ; අහස් තලය.

විහතාන්ධකාර

[විහත + අන්ධකාර]
වි. දුරු කරන ලද අඳුර ඇති.

විහදා

වි. නිර්මල ; පැහැදිලි.

විහනුක

(පාරිභා.) වි. හක්ක රහිත ; හනුව නැති.

විහර

නා.ප්‍ර. භික්ෂූන් විහරණය හෙවත් වාසය කරන තැන ; ආරාමය ; විහාරය ; පන්සල.

විහරණය

නා. වාසය කිරීම ; හැසිරීම ; සක්මන් කිරීම.

විහසිතය

නා. මඳ සිනාව.

විහ්වල

වි. ව්‍යාකුල වූ ; කලබල වූ.

විහායස

නා.ප්‍ර. අහස ; ආකාශය.

විහාර චීවර

නා.ප්‍ර. භික්ෂූන් සඳහා සැදැහැවතුන් විහාර ස්ථානයෙහි තබන සිවුරු.

විහාර දාන

නා.ප්‍ර. විහාරස්ථානයක් පූජා කිරීම.

විහාර දේපළ

නා. විහාර ආරාම සතු ඉඩකඩම් සහ වෙනත් චංචල නිශ්චල වස්තු.

විහාර දේවාලගම්

නා.ප්‍ර. විහාර දේවාල ආදියට පූජා කරන ලද ගම්බිම් ඉඩකඩම් ආදී දේපළ.

විහාර බත

නා. විහාරයට ගෙනවුත් සඟුනට පූජා කරන බත.

විහාර මඟුල් පූජාව

නා. විහාර පූජා කිරීම සඳහා කරන උත්සවය.

විහාර සමාපත්ති

නා.ප්‍ර. සතර බ්‍රහ්ම විහරණයන්ට සමවැදීම හෙවත් පැමිණීම.

විහාරගම

නා. විහාරයකට පූජා කරන ලද ගම්වරය.