සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1565

විසිරි ඛාදනය

නා. තද වර්ෂාව නිසා පස සහ එහි අන්තර්ගත සියුම් අංශු සෝදා යෑම.

විසිවිජ්ජා

නා.ප්‍ර. රැවිටිලි සහිත ක්‍රියාව ; වශී භාවයට ගෙන පෙන්වන පුදුම දේවල්.

විසිවියට

නා.ප්‍ර. රත්රන් බර කිරීමේ දී භාවිත කළ පැරණි බර ඒකකයක් ; වී ඇට විස්සක බර.

විසිළි

වි. විසිර ගියා වූ ; විසිරුණු.

විසීර්ණ

නා.ප්‍ර. විසිරීම ; පැතිරීම.

විසුංගාම

නා.ප්‍ර. කෙනෙකූට පරිත්‍යාග කිරීමට රජතුමා ගමකින් වෙන් කළ කොටස.

විසුංස

නා.ප්‍ර. ගිලිහීම ; පහත වැටීම.

විසුණු

[වි.) වඩා සියුම්ව කැඩී බිඳී ගිය කොටස්.

විසුද්ධ

වි. ඉතා පිරිසිදු වූ ; නිර්මල වූ.

විසුද්ධගත්තතා

නා.ප්‍ර. බුද්ධ ශරීරෙහි වූ අනුව්‍යඤ්ජන 80 න් එකක් ; පිරිසිදු ගාත්‍ර ඇති බව ; විශුද්ධ වූ ශරීර ඇති බව.

විසුදි

වි. ඉතා පිරිසිදු ; විශුද්ධ.
නා.ප්‍ර. (සිතෙහි) පිරිසිදු බව ; චිත්ත විශුද්ධිය.

විසුම් ගන්නවා

ක්‍රි. වාසස්ථානය කර ගන්නවා ; පදිංචි වෙනවා.

විසුම්හල

නා. මගීන්ගේ විශ්‍රාම ශාලාව ; තාවකාලික ව නැවතී සිටීමට ඇති ශාලාව ; අම්බලම.

විසුරුමාන

(කථා.) වි. දඟකාර ; නොහික්මුණු.

විසුරුවනවා

1. ක්‍රි. විසුරුවා හරිනවා ; වගුරුවනවා.
2. ප්‍රචාරණය කරනවා ; ප්‍රචාරයෙහි යෙදෙනවා.

විසුරුවා හරිනවා

1. ක්‍රි. (කණ්ඩායමක්) වෙන් කර හරිනවා.
2. වාණිජ, පාලක ආදී ආයතනයක් ඈවර කරනවා.

විසුරේ

නා.ප්‍ර. රාජ නියමයෙන් විශාල පළාතක් හෝ ප්‍රදේශයක් පාලනය කරන නිලධාරියා ; ප්‍රතිරාජයා.

විසුළුව

1. නා. කවටකම ; ක්ෂණික සිනහව නැංවීමේ අභිප්‍රායෙන් කරනු ලබන නොහොත් කියනු ලබන දැයක්; හාස්‍යජනක දර්ශනය.
2. විනෝදය පිණිස යම් තැනැත්තකු කෙරෙහි ඇති කරන සුළු අසීරුතාවක්.
3. ගැඹුරු නොවන සරල සැහැල්ලු ක්‍රියාවක්.

විසෘෂ්ට

වි. විහිදුණු ; පැතිරුණු.

විසෙස්

වි. අතිශයින් උසස් ; විශේෂ ; විශිෂ්ට.

විසේ

නා.ප්‍ර. දැඟලිල්ල ; දඟකාරකම ; කාමාශාව.

විසේනිය

නා. අමාවකට හෝ පසළොස්වකට පසු පස් වැනි දිනය ; පස් වැනි තිථිය.

විහ

නා.ප්‍ර. අහස ; අහස් තලය.

විහංගමයා

නා. කුරුල්ලා ; පක්ෂියා.

විහංගයා

නා. පක්ෂියා ; කුරුල්ලා.