සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1567

විහාරගේ

1. නා. භික්ෂූන් වාසය කරන ගෙය ; ආවාසය.
2. බුද්ධ ආදී ප්‍රතිමා සහිත ගොඩනැගිල්ල.

විහාරය

1. නා. චෛත්‍යය, බෝධිය, බුද්ධ මන්දිරය, සංඝාවාස ආදී විහාරාංග වලින්ගෙන් යුත් භික්ෂූන් වාසය කරන බෞද්ධ සිද්ධස්ථානය ; පන්සල ; විහාරස්ථානය.
2. බුදුගෙය ; විහාර ගෙය.
3. හැසිරීම ; පැවැත්ම ; චර්යාව.
4. වාසය ; විහරණය.
5. ක්‍රීඩා මණ්ඩප විශේෂයක්.

විහාරවාසී

වි. විහාරයෙහි, පන්සලෙහි වාසය කරන.

විහාරාංග

[විහාර + අංග]
නා.ප්‍ර. බෞද්ධ පූජනීය ස්ථානයකට අවශ්‍ය දාගැබ්, මහබෝ, පිළිම යන ත්‍රිවිධ චෛත්‍ය ආදී අංග.

විහාරාධිපති

නා.ප්‍ර. බෞද්ධ පූජනීය ස්ථානයක ප්‍රධානත්වය දරන භික්ෂූන් වහන්සේ.

විහාරානිසංස

[විහාර + ආනිසංස]
නා.ප්‍ර. විහාර කරවා පූජා කිරීමේ යහපත් ප්‍රතිඵල.

විහාරාරාම

[විහාර + ආරාම]
නා.ප්‍ර. ප්‍රතිමා ගෘහය සහ භික්ෂූන් නතරව සිටින ආවාස.

විහාසය

නා. මඳ සිනාව.

විහිංසක

වි. හිංසා කරන ; පීඩා කරන ; හිරිහැර කරන.

විහිංසාව

නා. හිංසාව ; හිරිහැරය ; වෙහෙස.

විහිගුම්

1. වි. උතුම් ; ශ්‍රේෂ්ඨ ; විශිෂ්ට ; මහේශාක්‍ය.
2. මහත් ; විශාල ; ගම්භීර ; සුවිශාල.
3. පතළ ; විසුරුණු.

විහිට

වි. විහිදුවන ලද ; යවන ලද ; විසර්ජනය කළ.

විහිත

ක්‍රි.වි. කරන ලද ; දක්වන ලද.

විහිත චතුරශ්‍රය

නා. එක් කෝණයක් 900 ක් වන පරිදි ඍජුකෝණික ත්‍රිකෝණාකාර ඇඳීමට ගන්නා පැතලි උපකරණය.

විහිතඥ

නා.ප්‍ර. නිරවශේෂ ඥානයක් ඇත්තා ; පරිපූර්ණ දැනුමක් ඇත්තා.

විහිදනය

(පාරිභා.) නා. ආස්තරණය ; ඇතිරිල්ල.

විහිදනවා

1. ක්‍රි. ඉදිරියට මෙහෙයවනවා ; අවතීර්ණ කරනවා.
2. දුරු කරනවා ; ඈත් කරනවා.
3. පැහැදිලි ව ඉදිරිපත් කරනවා.
4. පතළ කරනවා.
5. පුබුදු කරනවා.

විහිදි අකුණු

(පාරිභා.) නා.ප්‍ර. විසර්ජන මාර්ගය නොපෙනෙන තරම් ඈතක වලාකුළු එළිය කරමින්, ගසන අකුණ.

විහිදි පෙළ

(පාරිභා.) නා.ප්‍ර. පිළිවෙළකට අමුණන ලද ගොනුව.

විහිදීම

(පාරිභා.) නා. 1. ව්‍යාප්තිය ; ප්‍රසාරණය ; තව තව ඈතට යොමු වීම.
2. වේගයෙන් ඈතට ගමන් කිරීම.

විහිදුම්

1. නා.ප්‍ර. ප්‍රබෝධය ; පුබුදු වීම ; පිපීම.
2. වැඩි වීම ; දියුණු වීම ; පැතිරීම ; ව්‍යාප්තිය.

විහිදුවනවා

1. ක්‍රි. පතුරුවනවා ; ව්‍යාප්ත කරනවා ; නිකුත් කරනවා.
2. පන්නනවා ; මෙහෙයවනවා ; දිවීමට සලස්වනවා.

විහිදෙනවා

ක්‍රි. නිකුත් වෙනවා ; පැතිරෙනවා ; ව්‍යාප්ත වෙනවා ; යම්කිසි දිශාවකට යොමුව දික් ව පවතිනවා, නොහොත් වේගයෙන් ගමන් ගන්නවා.

විහිනවා

ක්‍රි. වහනය කරනවා ; උසුලනවා ; දරනවා.