සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1569

විළිවදිනවා

ක්‍රි. ලජ්ජා වෙනවා ; ලජ්ජාවට පත් වෙනවා ; විළියට පැමිණෙනවා.

විළිවසාගන්නවා

ක්‍රි. රහස් අවයව ආවරණය කර ගන්නවා.

විළිසංගය

(කථා.) නා. ලජ්ජාව ; ලෝකයාගේ අපවාදයට ඇති බිය ; නොසිරිතක් කිරීමට ඇති පිළිකුල් සහගත සිතුවිල්ල.

විළිස්සනවා

ක්‍රි. දත් පෙනෙන සේ තොල් විවර කරනවා ; විරිත්තනවා ; නියවනවා.

විළුම

නා. පාදයේ බොලට පිටුපසින් යටිපතුල තෙක් ඇති කොටස ; යටිපතුලේ පසුභාගය.

විළුම්සන් කරනවා

ක්‍රි. විළුඹින් සංඥාව දෙනවා ; සන් කටුවෙන් අනිනවා.

වී

1. නා.ප්‍ර. ධාන්‍ය විශේෂයක් ; ගොයම් පැළයෙන් ලබාගන්නා අස්වැන්න ; සහල් ලබාගන්නා ධාන්‍ය විශේෂය.
2. පක්ෂියා ; කුරුල්ලා.
3. පොළොව හඳුන්වන නාමය ; භූමිය.
4. වීථිය ; වීදිය ; මාර්ගය.
5. වියගහ ; වියදණ්ඩ.

වී අක්

නා.ප්‍ර. වී ඇටයෙහි අග කොටස.

වී අඳේ

නා. කුඹුරු හිමියා ගෙන් කුඹුරු ගොවිතැන් කරන ගොවියාට වැඩ කුලිය වශයෙන් දෙනු ලබන වී කොටස ; ගොවි අඳේ.

වී ඉහිනවා

ක්‍රි. වී වපුරනවා ; පැළවීම සඳහා වී කුඹුරට ඉසිනවා.

වී උඩ තියනවා

ක්‍රි. වී මුලක් බැඳ දෙවියන්ට බාර වී උඩකින් තියනවා ; දේව දානය සඳහා වී කොටසක් වෙන් කර තබනවා.

වී කැන්

නා.ප්‍ර. වී කරල.

වී ගස

නා. නගුලට ගොන් දෙන්නා බැඳීමට යොදා ගත් මැද ලොකු දෙකෙළවර සිහින් හරස් ලීය ; වියදණ්ඩ ; කරත්තයේ ගොනා බඳින ලීය.

වී ගුල

නා. වී අටුව ; වී බිස්ස ; වී ගබඩාව.

වී පාහිනවා

(කථා.) ක්‍රි. වී කොටනවා ; වී, සහල් බවට පත් කරනවා.

වී පූ කරනවා

(කථා.) ක්‍රි. වී ශුද්ධ කරනවා ; වීවල බොල් ඉවත් කරනවා ; වී පොළනවා.

වී බිස්ස

නා. නිවෙස්වල වී ගබඩා කර තබන ස්ථානය.

වී බූව

නා. වී නංඩුව.

වී බොල්

නා.ප්‍ර. බීජ රහිත වී ; පොත්ත පමණක් ඇති වී ; බොල් වී ; පුහු වී.

වී බොල්ලනවා

ක්‍රි. වී වලින් බොල් වෙන් කරනවා ; බොල් අයින් කරනවා ; වී පූ කරනවා.

වී මලුව

නා. වැපිරීමට පෙර පැළවීම පිණිස තෙමා ගොඩ ගසන වී ගොඩ.

වී යාන

නා.ප්‍ර. වී පැළවීම සඳහා අතුරා දැමූ ස්ථානය.

වී යාල්ලනවා

ක්‍රි. වී මනිනවා ; වී අස්වැන්න ප්‍රමාණය මනිනවා.

වී වඩුවා

නා. වී ඉසින පුද්ගලයා ; ගොවියා.