සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1570

වී වන

නා.ප්‍ර. වංගෙඩියේ වරකට අල්ලන වී ප්‍රමාණය.

වී වරුව

නා. පිදුරු වෙණිවලින් වටකර, මැටි නොගසා වී ආදී ධාන්‍ය තබන මැස්ස.

වී වෙන් කරනවා

ක්‍රි. යම්කිසි විශේෂ කටයුත්තක්, භාරයක් හෝ දේව පූජාවක් වෙනුවෙන් ධාන්‍ය කොටසක් වෙන් කොට තබනවා.

වී හුළං කරනවා

ක්‍රි. ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ හුළඟට අල්ලා වීවල ඇති බොල් ආදිය ඉවත් කරනවා.

වීජ ගුත්තික

වි. බීජ අඩංගු වූ ; බීජ අන්තර්ගත වූ.

වීජගණිතය

නා. ගණිත ශාස්ත්‍ර විශේෂයක් ; සංඛ්‍යා වෙනුවට අක්ෂර හා සංකේත භාවිත කෙරෙන විශේෂ ගණිත ක්‍රමය.

වීජනය

නා. පවන් සැලීම ; හුළං ගැසීම.

වීජය

1. නා. බීජය ; බෝවීම ඇති කරන බීජ.
2. අක්ෂරය ; සංකේතය.

වීජ්ජ

1. නා.ප්‍ර. දෙපස හෝ එක් පසෙක පෙළට පිහිටි ගොඩනැගිලි සමූහයක් සහිත නගර මාර්ගය ; මාවත ; පාර.
2. දේශීය යාගවල දී කෝටු, ගොක්කොළ, කෙහෙල් පතුරු ආදියෙන් තනා ගත් මැසි පේළිය.

වීටිකා

නා.ප්‍ර. බුලත් වැළ.

වීඨය

නා. පටියේ මුවවිටෙහි යොදන ඇට ආදියෙන් සෑදූ ගැටය ; වාටිය.

වීණාජාලිකයා

නා. වීණාකාරයා.

වීණාතත

නා. වීණාවෙහි විවිධ නාද නිකුත් කිරීම සඳහා සවිකර ඇති ලෝහමය රැහැන් විශේෂය.

වීණාදණ්ඩ

නා. වීණාවෙහි කඳ.

වීණාදෙණ

නා.ප්‍ර. විණාවේ ඔරුව වැනි කොටස.

වීණාපත

නා. වීණා වාදනයට යොදා ගන්නා දුන්න වැනි උපකරණය ; වීණා පත්‍රය ; උපවීණය.

වීණාව

නා. තත් සහිත අතිපුරාණ ඉන්දියානු සංගීත භාණ්ඩයක්.

වීත

වි. දුරු වූ ; පහ වූ ; දුරු කළ.

වීත ද්වේෂි

වි. දුරුකළ ද්වේෂය ඇති.

වීත මෝහී

වි. මෝහය නසන ලද ; පහ කළ මෝහ ඇති.

වීතරාගී

වි. පහ කරන ලද රාගය ඇති ; දුරු කළ රාගය ඇති.

වීතික්කම

නා.ප්‍ර. ඉක්මයෑම ; ඉක්මවීම.

වීතික්‍රමය

නා. ශික්ෂාපද කැඩීම ; ඉක්මවීම ; ව්‍යතික්‍රමය.

වීතිහරණය

නා. ඇවිදීම ; පියවරෙන් පියවර තැබීම.