සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1599

වෛදික

වි. වේදයට අයත් ; වේද ග්‍රන්ථ ලියූ කාලයට අයත්.

වෛදික කුල

නා.ප්‍ර. වේදයෙහි සඳහන් යාග ආදී පූජාවිධි පවත්වන කුල.

වෛදික දර්ශනය

නා. වේද කාලීන චින්තකයන් විසින් ලෝකය හා එහි පැවැත්ම ආදිය පිළිබඳව සොයාගන්නා ලද දැනුම.

වෛදික භාෂාව

නා. වේද වාක්‍ය ඇතුළත් පැරණි සංස්කෘත භාෂාව.

වෛදික සාහිත්‍යය

නා. වේද කාලීන චතුර්වේදය හා ඊට සම්බන්ධ ග්‍රන්ථ සමූහය.

වෛදික සූක්ත

නා.ප්‍ර. වේද ගීත.

වෛදූර්ය

නා.ප්‍ර. වෛරෝඩි මාණික්‍ය.

වෛධර්මය්‍යය

නා. වෙනස් වන ධර්ම ඇති බව ; අසමානත්වය ; වෙනස්වීම.

වෛධර්ම්‍යවත්

වි. විරුද්ධ ධර්මය ඇති ; විරුද්ධ ස්වභාවය ඇති.

වෛධව්‍යය

නා. වැන්දඹුභාවය.

වෛධව්‍යයෝගය

නා. (ජ්‍යෝති.) විධවා යෝගය ; ජන්ම කේන්ද්‍රයක හත්වැන්නේ අඟහරු (කුජ) යෙදීමෙන් හා එකී අගහරුට පාප දෘෂ්ටි එල්ලවීමෙන් මෙම යෝගය යෙදේ.

වෛධාර්මික

වි. අසම්‍යක් දෘෂ්ටියෙන් යුත් ; මිථ්‍යාලබ්ධික.

වෛධුර්යය

නා. විරහයෙන් ඇති වූ මානසික දුර්වලතාව ; වෛකල්‍යය.

වෛනයික

වි. විනය හා සම්බන්ධ ; විනය නීතිරීති ආශ්‍රිත.

වෛනාශිකයා

නා. මාධ්‍යමික බෞද්ධයා ; සර්වාස්තිවාදියා ; ධර්මයක් තුන් කල්හිම පවතින බව සැලකූ බෞද්ධ නිකායට අයත් තැනැත්තා.

වෛනාහක

නා.ප්‍ර. වැස්ම ; ආවරණය.

වෛනේය

වි. හික්මවිය යුතු ; හික්මවිය හැකි.

වෛපරිත්‍යය

නා. වෙනස්වීම ; පෙරළිය ; විපරිත බව.

වෛපුල්‍ය

වි. මහත් ලෙස පැතිරුණු ; විශාල ; විස්තීර්ණ.

වෛභව

නා. බල බහිමය ; ශ්‍රේෂ්ඨත්වය ; උත්තම භාවය.

වෛභාෂික වාදය

නා. සියලු සංස්කාර අනිත්‍ය වෙතත්, ද්‍රව්‍ය හට ගැන්මට හේතුවන ධාතු නිත්‍ය වෙතැයි යනුවෙන් ඉගැන්වූ භාරතීය බෞද්ධ මතවාදයක්.

වෛමාතෘක

වි. තම පියාට දාව වෙනත් මවකගෙන් උපන්.

වෛමාතෘව

නා. තම පියාට දාව වෙනත් මවකගෙන් උපන් සහෝදරිය.

වෛමානික

වි. දිව්‍ය විමානය හා සම්බන්ධ ; විමානයෙහි උපන්.