සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1598

වෛඥානිකයා

නා. නිපුණ තැනැත්තා ; විද්‍යාඥයා.

වෛතත්‍යය

නා. විතත භාවය ; විහිදී යෑම ; ව්‍යාප්තිය.

වෛතනිකයා

නා. චරපුරුෂ සේවයෙහි යෙදෙන්නා ; කුලී හේවායා.

වෛතාලය

1. නා. ඉතා I උදෑසන ; හිමිදිරි පාන්දර.
2. හිමිදිරි පාන්දර විවිධ තාලයෙන් බැඳි ස්තෝත්‍ර ගායනය.

වෛතාලිකයා

නා. උදෑසන ගී ගයා රජුන් ආදි ප්‍රභූන් පුබුදු කරවන්නා ; වන්දිභට්ටයා.

වෛතාලීය

නා.ප්‍ර. මාත්‍රා වෘත්තයක නාමය ; විෂම වූ (1, 3) පාදයෙහි මාත්‍රා හය බැගින් ද සම (2, 4) පාදයෙහි මාත්‍රා අට බැගින් ද සිටින සේ බඳනා ලද වෘත්තය.

වෛති විටියෙල

නා.ප්‍ර. චිත්‍ර ආදිය ඇදීමට හා එහි ආලේපයට ගන්නා සායම් තීන්ත ආදී උපකරණ.

වෛතුල්‍යකය

නා. ථේරවාදයෙන් බාහිර බෞද්ධ නිකායක නාමය.

වෛතුල්‍යය

නා. ස්ථවිර වාදයට විරුද්ධ අදහස් දරන පශ්චාත් බෞද්ධ නිකායක නාමය.

වෛතුල්‍යවාදියා

නා. වෛතුල්‍ය නිකායට අයත් තැනැත්තා ; වෛතුල්‍ය මත දරන්නා.

වෛද්‍ය අධිකාරි

නා.ප්‍ර. රෝහලක සෞඛ්‍ය සේවා භාර තැනැත්තාගේ නිල නාමය.

වෛද්‍ය කර්මය

නා. රෝගීන්ට පිළියම් කිරීම ; රෝග නිවාරණය උගන්වන ශාස්ත්‍රය.

වෛද්‍ය කාලගුණ විද්‍යාව

(පාරිභා.) නා. වෛද්‍ය ශාස්ත්‍රය අනුව කාලගුණය පිළිබඳ හැඳිනීමේ ක්‍රමය.

වෛද්‍ය කීට විද්‍යාඥයා

(පාරිභා.) නා. කෘමිවිද්‍යාව පිළිබඳ විශේෂ දැනුම ඇත්තා ; කීට විද්‍යාඥයා.

වෛද්‍ය කීට විද්‍යාව

(පාරිභා.) නා. කෘමි විද්‍යාව පිළිබඳ වෛද්‍ය ශාස්ත්‍රය.

වෛද්‍ය පර්යේෂණාගාරය

(පාරිභා.) නා. සෞඛ්‍ය විද්‍යාව ආශ්‍රිත සියලු අවස්ථා පර්යේෂණ කරන ස්ථානය.

වෛද්‍ය මණ්ඩලය

නා. (බටහිර) වෛද්‍ය වෘත්තියට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම පරිපාලනය හා බටහිර වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සඳහා පිහිටුවාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලය.

වෛද්‍ය විද්‍යාලය

නා. (බටහිර වෛද්‍ය ක්‍රමය) පුහුණු කරවන විශ්වවිද්‍යාලයීය ආයතනය.

වෛද්‍ය විද්‍යාව

නා. වෛද්‍ය ක්‍රම පිළිබඳ ශිල්ප ශාස්ත්‍රය ; වෛද්‍ය ශාස්ත්‍රය.

වෛද්‍යක

1. නා.ප්‍ර. වෛද්‍ය ශාස්ත්‍රය ; රෝග නිවාරණය කිරීමේ පිළිවෙත් ; රෝග සුව කිරීමේ ශාස්ත්‍රය.
2. වෛද්‍යයා.

වෛද්‍යවරයා

1. නා. වෛද්‍ය ශාස්ත්‍රය දත් තැනැත්තා.
2. රෝගීන්ට වෙදකම් කරන්නා ; වෛද්‍යාචාර්යයා.

වෛද්‍යුත

1. වි. විදුලි බලය සහිත ; විදුලි බලය කවන ලද.
2. විදුලි බලය පිළිබඳ.

වෛද්‍යුතමානක යන්ත්‍රය

නා. විදුලිබල පරිභෝජනය මනින යන්ත්‍රය.

වෛද්‍යෝපදේශය

[වෛද්‍ය + උපදේශය]
නා. වෛද්‍යවරයාගේ අනුශාසනය ; වෙදකම පිළිබඳ ගුරුහරුකම.