සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1606

ශක්තු

1. නා.ප්‍ර. බැදකුඩුකරගත් යව හෝ සහල්.
2. ආයුර්වේදයෙහි සඳහන් උග්‍ර විෂවලින් එකක්.

ශක්ථි

නා.ප්‍ර. උකුළත් දණහිසත් අතර කොටස ; කළවය.

ශක්නුතාව

නා. හැකියාව ; නීත්‍යනුකූල බලය.

ශක්ලික

නා.ප්‍ර. ලී කැබලි ; ලී පතුරු.

ශක්ලිකාග්නිය

[ශක්ලික + අග්නිය]
නා. ලී කැබලි දමා දල්වනු ලබන ගින්න.

ශක්‍ය

වි. හැකි ; පුළුවන් ; ශක්තිය ඇති.

ශක්‍යතාව

නා. හැකියාව ; පුළුවන්කම.

ශක්‍රයා

නා. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන දෙවි රජ ; සක්දෙවිඳු.

ශක්‍රාති ශක්‍ර

නා.ප්‍ර. (ශක්‍රයා ඉක්මවා යන ශක්‍රයා යනු වාච්‍යාර්ථයි) බුදුරජාණන් වහන්සේ පිළිබඳ යෙදේ.

ශක්‍රාසනය

නා. ශක්‍රයාගේ ආසනය ; පඬුපුල් අස්න.

ශකුන

1. නා.ප්‍ර. කුරුල්ලා ; විහඟයා ; පක්ෂියා.
2. රාජාලියා.
3. ශුභාශුභ දක්වන නිමිත්ත.

ශකුනවිද්‍යාව

නා.ප්‍ර. කුරුල්ලන්ගේත්, දෙපා-සිවුපා සතුන්ගේත් නාදය අසා ශුභාශුභ කීමේ විද්‍යාව.

ශකුනි ග්‍රහය

නා. බාලග්‍රහ දෝෂය නිසා කුඩා දරුවන්ට වැළඳෙන රෝගයක් ; බාලගිරි දෝෂය.

ශකෘත්

නා.ප්‍ර. අශූචි ; මල.

ශකෘද්වාර

නා.ප්‍ර. මල පිටවන දොරටුව.

ශඞ්කර

1. වි. සෙත සලසන ; ශාන්තිය ඇති කරන.
2. ජාති දෙකක් හෝ කීපයක් එකට මිශ්‍ර වූ ; කලවම්.
නා.ප්‍ර. අඳ නැකත.

ශඞ්කාකුල

වි. සැකයෙන් ආකූල වූ ; සැක සහිත වූ.

ශඞ්කිත

වි. සැක කළ ; අනුමාන කළ.

ශඞ්කුලා

1. නා.ප්‍ර. පුවක් කැපීමට භාවිත කරන ආයුධය ; ගිරය.
2. මහනෙල් කොළ.

ශඞ්කුව

1. නා. උල ; කණුව.
2. පුරුෂ ව්‍යංජනය ; පුරුෂ ලිංගේන්ද්‍රිය.
3. ග්‍රහ කක්ෂාදියෙහි දුර මැනීමට භාවිත කළ අගල් දොළහක දිග මිම්ම.
4. අඬුව.
5. ශිව දෙවියා.

ශඞ්ඛජ

නා.ප්‍ර. සක්බෙලි මුතු.

ශඞ්ඛධෞතය

නා. සක් ගෙඩියෙහි සුදු පැහැය.

ශඞ්ඛනඛය

1. නා. කුඩා හක්ගෙඩිය.
2. සක් නැබ.

ශඞ්ඛය

1. නා. හක් බෙල්ලාගේ කටුව ; හක්ගෙඩිය ; සක.
2. ඇතාගේ කොපුල් තලය ; ඇත්කපෝලය.
3. දශවිධ රත්නයන්ගෙන් එකක්.