සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1607

ශඨ

වි. කපටි ; වංචාකාර.

ශඨ ප්‍රවෘත්ති

නා.ප්‍ර. කපටි පැවැත්ම ; ප්‍රයෝගකාරී හැසිරීම.

ශත පුණ්‍ය

වි. ඉතා පින්වත් ; මහා පින් ඇති.

ශත භාගය

නා. සිය ගුණය.

ශතකය

1. නා. සියය ; ශතය.
2. පද්‍ය හෝ ශ්ලෝක සියයකින් යුත් ග්‍රන්ථය.

ශතක්‍රතු

නා.ප්‍ර. යාග සියයක් පැවැත්වූ තැනැත්තා වන ශක්‍රයා.

ශතධෞත

නා.ප්‍ර. සියක් වරක් සෝදන ලද දෙය ; ඉතා පිරිසිදු ගිතෙල්.

ශතපත්‍ර බන්ධු

නා.ප්‍ර. නෙළුම් මලෙහි නෑයා ; සූර්යයා.

ශතපත්‍රය

නා. පෙති සියයක් ඇති දෙය ; නෙළුම් මල.

ශතපත්‍රයා

නා. පිහාටු සියයක් ඇත්තා වන මොනරා.

ශතපද

නා.ප්‍ර. පාද සියයක් ඇත්තා ; පත්තෑයා.

ශතපාක

වි. ඖෂධ යොදමින් සිය වරක් පිසූ.

ශතපෝනකය

1. නා. සිදුරු සියයක් ඇති දෙය ; පෙනේරය.
2. ලිංගික රෝගයක්.

ශතම

වි. සියයෙන් කොටසක් වූ.

ශතම මීටරය

නා. මීටරයකින් සියයයෙන් කොටස.

ශතම සමක

(පාරිභා.) වි. සමක ද්‍රාවණයකින් සියයෙන් කොටසක සාන්ද්‍රණයක් ඇති.

ශතරශ්මි

නා.ප්‍ර. රැස් සියයක් ඇත්තා වන සූර්යයා.

ශතලක්ෂය

නා. සියක් ලක්ෂය ; කෝටිය.

ශතවර්ෂය

නා. අවුරුදු සියය ; සියවස.

ශතසහස්‍රය

නා. සියක් දහස ; ලක්‍ෂය.

ශතසහස්‍රී ලෝකධාතුව

නා. ලක්ෂ සංඛ්‍යාත සක්වළ ඇති ලෝකධාතුව.

ශත්‍ය

නා.ප්‍ර. සියයක් ගෙවා මිලට ගත් දෙය.

ශත්‍යාව

නා. සියය.

ශත්‍රප

නා. රට පාලනය කරන්නා ; රාෂ්ට්‍ර පාලකයා.