සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1680

සග

1. නා.ප්‍ර. පරිච්ඡේදය ; කාණ්ඩය ; සර්ගය.
2. දෙව්ලොව ; ස්වර්ගය.
3. සංඝයා.

සගණය

නා. පද්‍ය රචනා කිරීමේ දී යෙදෙන ගණ අටෙන් ගුරු මාත්‍ර දෙකකින් සහ ලුහු මාත්‍ර එකකින් යුක්ත ගණය ; වායු ගණය නමින් හැඳින්වෙන මෙය අශුභ ගණයක් සේ සැලකේ.

සගනවා

1. ක්‍රි. ආරක්ෂා කරනවා ; රැකදෙනවා.
2. සංග්‍රහ කරනවා ; සත්කාර කරනවා ; සතුටු කරනවා.
3. සිත් පැහැර ගන්නවා ; සිත් දිනා ගන්නවා.

සගන්ධ

(පාරිභා.) වි. (කිසියම්) ගඳකින් යුක්ත ; දුගඳ හෝ සුවඳ ගති ඇති.

සගපවග

නා. සග හා අපවග ; ස්වර්ගය හා නිර්වාණය.

සගබාල

වි. තරුණ ; ළාබාල.

සගබෑ

නා.ප්‍ර. බාල සහෝදරයා ; කනිටු සොහොයුරා.

සගමහණ

නා. තරුණ භික්ෂු නම ; වයසින් හෝ උපසම්පදාවෙන් තමාට වඩා බාල භික්ෂු නම.

සගමොක්

නා.ප්‍ර. ස්වර්ගය හා මෝක්ෂය.

සගයා

1. නා. යාළුවා ; මිත්‍රයා ; හිතවතා.
2. අතවැසියා සේවකයා.

සගර්භ

1. වි. ගැබක් සහිත ; ගැබ් දරන.
2. ඇතුළත් කොට ඇති ; අන්තර්ගත.

සගර්ව

වි. ගර්ව සහිත ; සාඩම්බර.

සගලිය

නා. තරුණ කාන්තාව ; ළාබාල ස්ත්‍රිය.

සගසියෝ

වි. සර්ග සහිත වූ ; සර්ග සමූහයකින් යුක්ත වූ.

සග්ග

නා.ප්‍ර. දෙව්ලොව ; ස්වර්ගය.

සග්ගන්තරාය

නා. දෙව්ලොව යාමට ඇති බාධාව.

සගාථක

වි. ගාථා සහිත ; ගාථාවලින් සමන්විත.

සගාරව

වි. ගෞරව සහිත ; ගරු සැලකිලි සහිත.

සගැහුම්

නා.ප්‍ර. සත්කාර සම්මාන ; සංග්‍රහ.

සගුණ

නා.ප්‍ර. ෂඩ් ගුණය ; රාජ්‍ය පාලකයකුට තිබිය යුතු සන්ධි, විග්‍රහ, දෛවධීභාව, යාන, ආසන, සංග්‍රහ යන ගුණ සය.
වි. ගුණ සහිත ; ගුණයෙන් යුත්.

සගුල් අස්ථිය

(පාරිභා.) නා. පැහැදිලි ව පෙනෙන සිදුර සහිත අස්ථිය ; ගුල්මීය අස්ථිය.

සගෝචර

වි. ගෝචර ඇති ; විෂය වන

සගෞරව

වි. ගෞරව සහිත ; ගරුසරු ඇති.

සඞ්කල්ප සිද්ධිය

නා. අදහස් සඵලවීම ; අදහස් ඉටුවීම.