සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1679

සකුල

1. නා.ප්‍ර. ඖෂධ විශේෂයක නාමය.
2. කුල සය ; ගෝත්‍ර හෝ වංශ හය.
1. වි. කුලයක් සහිත.
2. පවුලක් ඇති.

සකුලිනා

(පාරිභා.) නා.ප්‍ර. (සත්ව.) කකුළුවන් මත වැඩෙන පරපෝෂිත සත්ත්වයෙක්.

සකුලු

වි. ගැවසීගත් ; ගහණ වූ ; සංකූල.

සකුලුණු

වි. කරුණා සහිත වූ ; කුලුණු ගුණයෙන් යුක්ත.

සකුස්

ක්‍රි.වි. ඉක්මනට ; වහා ; ශීඝ්‍රව.

සකුහුල්

1. වි. කුතුහල සහිත.
2. සැක සහිත.

සකුළු

1. වි. තද ; දැඩි ; චණ්ඩ.
නා.ප්‍ර. කුළු හෙවත් කටුක රසය.

සකූප

(පාරිභා.) වි. 1. පෘෂ්ඨයෙහි තිබෙන.
2. සිදුරු සහිත පෙනේරයක් වැනි.

සකූප ඵලකය

(පාරිභා.) නා. (සත්ව.) පෘෂ්ඨවංශී සත්ත්වයන්ගේ වර්ධනය වන හිස් කබලේ ඇති සිදුරු සහිත කෝමලාස්ථිමය කොටසක්.

සකෘත්

නි. වරක් ; වතාවක්.

සකෘත්ඵල

නා.ප්‍ර. වරක් ඵල හටගන්නා ගස ; කෙසෙල් ගස.

සකෘත්‍යකාරී

වි. අවශ්‍ය කටයුතු නියම ලෙස කරන්නා වූ ; මනා ව කටයුතු සම්පාදනය කරන.

සකෘදාගාමී

වි. දෙවන ආර්ය මාර්ගයට පැමිණි.

සකෘදාගාමී ආර්යයා

නා. සකෘදාගාමී මාර්ග ඵලය අවබෝධ කිරීමෙන් උත්පත්ති වශයෙන් කාම භවයට තවත් එක් වරක් පමණක් පැමිණෙන ආර්ය පුද්ගලයා.

සකෙලෙස්

වි. කෙලෙස් සහිත ; සක්ලේස.

සකෙව්

වි. කෙටි ; විස්තර රහිත ; සංක්ෂේප.

සකොබ

නා.ප්‍ර. කැලඹීම ; සංක්ෂෝභය.

සකොලහල

වි. කලබල සහිත ; ඝෝෂාවෙන් යුක්ත.

සකෝනියා

(පාරිභා.) නා. අධික ද්‍රවාංකයකින් යුත් තද ලෝහ විශේෂයක්.

සඛි

නා.ප්‍ර. මිත්‍රයා ; යාළුවා.
වි. මිත්‍ර ; යහළු.

සඛිභාර්යාව

නා. මිතුරියක මෙන් විශ්වාස භාවයෙන් වසන භාර්යාව.

සඛිය

නා. යෙහෙළිය ; මිතුරිය.

සඛුර

(පාරිභා.) වි. කුර සහිත.