සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1678

සකාලික

වි. සැම දා පවතින ; සදාකාලික.

සකි

1. නා.ප්‍ර. යහළුවා ; මිත්‍රයා ; හිතවතා.
2. සැමියා.
3. ගණන සංඛ්‍යාව.
4. පණිවිඩකාරයා ; දූතයා.
5. සාක්කි ; සාක්ෂ්‍ය.
6. චක්ෂූස ; ඇස.
7. පුස්කොළ පොත්වල හුය කෙළවර (කම්බයෙහි) සවි කරන ලොහො කැබැලි.
8. සංඛ්‍යාදර්ශනය.

සකි මත

නා.ප්‍ර. නැති වස්තුවක් කිසිසේත් ඇති නොවන බව ප්‍රකාශ කරන සත්කාර්යවාදය යන සාඞ්ඛ්‍ය දර්ශනය.

සකිං

ක්‍රි.වි. වරක් ; එක් වතාවක්.

සකිං විජාත ස්ත්‍රී

නා.ප්‍ර. එක් වරක් වැදූ ස්ත්‍රිය ; එක් දරු මව.

සකිඤ්චන

1. වි. ද්‍රව්‍ය සහිත.
2. බැඳීම් සහිත ; බාධා සහිත.

සකිණු

වි. මිශ්‍ර ; සංකීර්ණ.

සකිණු වග

නා.ප්‍ර. මිශ්‍ර වර්ගය ; සංකීර්ණ වර්ගය.

සකිල

1. වි. සරු ; සාරවත් සශ්‍රීක.
2. (කථා.) කෙට්ටු ; කෘශ ; දුර්වල.

සකිලිටි

වි. අතිශයින් කිලිටු ; බෙහෙවින් අපවිත්‍ර.

සකිලෙස්

වි. කෙලෙස් සහිත ; ක්ලේශවලින් යුක්ත.

සකිසඳ

නා.ප්‍ර. උතුම් මිත්‍රයා.

සකිසැප

නා.ප්‍ර. තමන්ගේ සැපත ; ස්වකීය සම්පත්තිය.

සකී

1. නා.ප්‍ර. මිතුරිය ; හිතවතිය.
2. බිරිඳ ; භාර්යාව.

සකු

1. නා.ප්‍ර. සකු බස ; සංස්කෘත භාෂාව ; දේව හෙවත් දෛවී භාෂාව.
2. සක්ක ; හක්ක ; සුඹුකුව.
3. කපෝලය ; කම්මුල.

සකු පිළිකය

නා. හක්කේ සෑදෙන පිළිකාව.

සකුණ

1. නා.ප්‍ර. කුරුල්ලා ; පක්ෂියා.
2. කොවුලා ; කෝකිලයා.
3. ළිහිණියා.

සකුණ ප්‍රවෘත්ති

නා.ප්‍ර. කුරුල්ලකුගේ පැවැත්ම ; පක්ෂියකුගේ ආකාරය.

සකුණ යෂ්ටිය

නා. දෙවනපෑතිස් රාජාභිෂේකයේ දී පහළ වී යැයි සඳහන් වන රිදී යෂ්ටි තුනෙන් එකක් ; විවිධ වර්ණයෙන් යුත් නා නා වර්ගයේ පක්ෂීන් හා මෘගයන් පණ ඇත්තවුන් සේ පෙනෙන ආකාරයට දැක්වෙන විසිතුරු යෂ්ටිය.

සකුණග්ඝි

නා.ප්‍ර. පක්ෂීන් මරා කන පක්ෂියා ; කුරුලුගොයා.

සකුණඥයා

නා. පක්ෂීන් පිළිබඳ දන්නා තැනැත්තා.

සකුණරුත

නා.ප්‍ර. පක්ෂීන් නංවන හඬ ; පක්ෂි නාද.

සකුණිකයා

නා. පක්ෂීන් දඩයම් කරන්නා ; ළිහිණි වැද්දා.

සකුන්දුරයා

නා.ප්‍ර. සක් පිඹින්නා ; පුරාණ තූර්ය වාදක කණ්ඩායමට අයත් ශිල්පියෙක්.

සකුරු

1. නා.ප්‍ර. පොල්, තල්, උක් ආදියේ පැණි සීනි මුදවා ඝන කිරීමෙන් සාදන සීනි විශේෂයක් ; ශර්කරා.
2. ගල්කැට ; බොරළු කැට.