සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1677

සක්‍රමේන්තුව

(ක්‍රිස්ති.) නා. බවුතීස්ම, විවාහය ආදියේ දී ක්‍රිස්තු භක්තිකයන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ප්‍රකාශ කිරීමේ චාරිත්‍රය.

සක්‍රිය

වි. ක්‍රියාකාරී.

සක්‍රිය අංකුරය

නා. ක්‍රියාකාරී අංකුරය ; වැඩෙන දලුව.

සක්‍රිය අවශෝෂණය

(පාරිභා.) නා. මූලකේශ මගින් පසෙන් මුල්වලට ජලය උරා ගැනීම.

සක්‍රිය කම්බිය

(පාරිභා.) නා. විදුලි ධාරාවක් ගෙන යමින් ඇති කම්බිය.

සක්‍රිය කළ කාබන්

නා.ප්‍ර. කුඩු කරන ලද අස්ඵටික කාබන් විශේෂයක්.

සක්‍රිය පරවශතාව

නා. (නීති.) ප්‍රශ්නයක් නොනගා නියතයෙන් ම ඇති කරගත යුතු යටත් බව ; ඒකාන්ත දාස භාවය.

සක්‍රිය පර්යටනය

(පාරිභා.) නා. කුරුල්ලන් ආදි සතුන් සමූහ වශයෙන් වෙනත් ප්‍රදේශවල වාසස්ථාන සොයා යෑම.

සක්‍රිය ප්‍රතිශක්තිය

(පාරිභා.) නා. රෝග ඇති වීම වැළැක්වීම සඳහා කෙනකු තුළ ස්වභාවයෙන්ම ඇති ශක්තිය.

සක්‍රිය භාරය

(පාරිභා.) නා. භාරකාරත්වයක් යටතට පත්කරන ලද අරමුදල හෝ දේපළ.

සක්‍රිය මූලය

(පාරිභා.) නා. ඖෂධයක හෝ රසායන සංයෝගයක නිරන්තරයෙන් ක්‍රියාශීලි ව පවත්නා අත්‍යවශ්‍ය අඩුවැඩිය.

සක්‍රිය යකඩ

(පාරිභා.) නා.ප්‍ර. පසත් සමඟ එකතු වී පැළෑටිවලට හිතකාරී වන ලෙස ක්‍රියා කරන යකඩ.

සක්‍රිය වාහකයා

(පාරිභා.) නා. රෝග බීජයක් ගෙන ගොස් එය මිනිසුන් හා වෙනත් සතුන්ගේ ශරීරගත කිරීමෙන් රෝග පතුරුවන සතා.

සක්‍රිය සංසරණය

(පාරිභා.) නා. බැංකුවෙන් නිකුත් කළ මුදල් නෝට්ටු එහි තැන්පත් වී නොතිබී මහජනයා අතර හුවමාරු වීම.

සක්‍රිය හවුල්කරු

(පාරිභා.) නා.ප්‍ර. හවුල් ව්‍යාපාරයක පාලන කටයුතුවලට ක්‍රියාකාරී ලෙස සහභාගිවන්නා.

සක්‍රියකය

(පාරිභා.) නා. රබර් වෝල්කනයිසිං ත්වරකයක ක්‍රියාශීලිතාව වැඩි කරවන රිදී හෝ සින්ක් ඔක්සයිඩ් වැනි ද්‍රව්‍යයක්.

සක්‍රියකාරකය

නා. ක්‍රියාකාරී බවට හේතුවන සාධකය.

සක්‍රියතා සංගුණකය

(පාරිභා.) නා. ද්‍රාවණයක් පරමාදර්ශී තාපගතික චර්යාවෙන් බැහැර වී යන බව දක්වන ප්‍රාමාණික ලක්ෂණයක්.

සක්‍රියතාව

(පාරිභා.) නා. ක්‍රියාකාරිත්වය ; විකිරණශීල ප්‍රභවයක තීව්‍රතාව ; විකිරණශීලතාව.

සක්‍රියන ශක්තිය

(පාරිභා.) නා. රසායනික ප්‍රතික්‍රියාවක් ඇරඹීම සඳහා අවශ්‍ය ශක්තිය.

සක්‍රියනය

(පාරිභා.) නා. වඩා ශීඝ්‍ර රසායනික භෞතික විපර්යාස උෂ්ණය, විකිරණය වැනි සක්‍රියනයකින් පිරියම් කිරීම.

සකාමික

වි. කාම සහිත ; රාග සහිත.

සකායදිට්ඨි

නා.ප්‍ර. සක්කාය දිට්ඨි බ.

සකාරණ

වි. කාරණ සහිත.