සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1784

සාගරික දේශගුණය

නා. විශේෂයෙන් මුහුදෙන් හමන පිරිසුදු සිසිල් සුළං හේතුවෙන් සෞම්‍යව පවතින දේශගුණය.

සාගරික වායුගුණය

නා. සාගරයේ තද බලපෑමක් අයත් වන ප්‍රදේශයේ වායුවේ ස්වභාවය.

සාගරෝඝය

නා. සාගරයක් තුළ ම එක්දිශාවකට ගලා යන දිය කඳ ; දියවැල.

සාගරෝන්නාදය

නා. මහ මුහුදින් නැගෙන ගම්භීර නාදය.

සාගලික නිකාය

නා. ගෝඨාභය රජු සමයේ දක්ෂිණගිරි විහාරවාසීව වැඩ සිටි සාගල නම් තෙරුන් විසින් ඇති කරන ලද භික්ෂු නිකාය.

සාග්‍රක

වි. (තුරු-ලතාවල පත්‍ර සම්බන්ධයෙන්) අග්‍ර හෙවත් තුඩු සහිත ; කෙටි තියුණු තුඩකින් කෙළවර වන.

සාගින්දර

නා.ප්‍ර. බඩගින්න ; කුසගින්න ; ක්ෂුධාව ; සාගින්න.

සාඞ්කේතික

වි. සංකේතය සම්බන්‍ධ, චිහ්නය පිළිබඳ.

සාඞ්ඛ්‍යදර්ශනය

නා. කපිල සෘෂිවරයා විසින් බිහි කරන ලද දර්ශනය ; පටන්ගැන්ම හෝ අවසානයක් හෝ ලිඞ්ගයක් හෝ නැති පරමාත්මයා පිළිබඳ වූ සියල්ලන් කෙරෙහි පැතිර පවත්නා චේතනා රහිත වූ ප්‍රකෘතිය අනුව ලොව පවතීය යන මතය මූලිකකොට පවතින දර්ශනය.

සාඞ්ගත්‍යය

නා. සඞ්ගත වීම ; එකතුවීම.

සාඞ්ගාමික

වි. සංගමයට, එකමුතුවීමට හෝ එක්රැස්වීමට සම්බන්ධ.

සාඞ්ගෝපාංග

වි. ප්‍රධාන කොටස් සහ අනුකොටස් සහිත ; මූලික සහ අවශේෂ අඞ්ග සහිත.

සාඞ්ඝාතික

වි. මුළුමනින් විනාශකාරී ; සපුරා ඝාතනය කරන ; මාරාන්තික.

සාඞ්ඝික

වි. සංඝයාට අයිති ; සඟසතු.

සාඞ්ඝිකය

නා. සඟ සතුකොට දුන් දෙය.

සාච්චල් ඇලිය

නා. කොළඹ සිට හලාවත දක්වා වූ මසුන් අල්ලන මුහුදු ප්‍රදේශය.

සාචියෝගය

නා. ප්‍රයෝගකාරී වීම ; සාවද්‍ය මාර්ගයක් අනුගමනය කිරීම.

සාජ්ජ

වි. සරල වාදනයට සම්බන්ධ.
නා.ප්‍ර. කණ්ඩායමක් එකතුව හුදු විනෝදය සඳහා ශාස්ත්‍රීය බවින් යෙදෙන නැටුම්, ගැයුම්, වැයුම් කාර්යය.

සාටකය

1. නා. සළුව ; උඩුකය වසා පොරවන වස්ත්‍රය.
2. අමුඩය.

සාට්ටම්

නා.ප්‍ර. පැරණි යුද සන්නාහවලට අයත් ඇඳුමක්.

සාට්ටුව

1. නා. හිලවුව ; ප්‍රතිඋපකාරය.
2. ව්‍යාජ ස්තූතිය ; බොරු වර්ණනාව.

සාටාව

නා. ගෙයකට සමීපව සාදා ඇති කුඩා මඩුව.

සාටුව

නා. ශඨබව ; කපටිකම.