සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1785

සාටුවා

නා. සීසෑම කරන තැනැත්තා ; හාන තැනැත්තා.

සාටෝප

වි. ආටෝප බැවින් යුතු ; සාඩම්බර.

සාටෝපය

1. නා. ආටෝප සහිත බව ; උදාරම්බව.
2. දැඩිගතිය (ලෙඩක) උත්සන්න තත්ත්වය ; උගුබව.
3. උච්චාරණයට අපහසු, සුකුමාර නොවන භාෂා ශෛලිය.
4. සම්භාවනාව ; උසස්බව.
5. උකුගතිය.

සාඨෙය්‍ය

වි. කපට ; නැති ගුණ ඇති සේ හඟවන.

සාඨෙය්‍යය

නා. කපටිබව ; නැති ගුණ ඇති සේ ඇඟවීම.

සාඩ

1. නා.ප්‍ර. ඇනුම්පද ; උපහාසාත්මක කියුම්.
2. උසුළුවිසුළු ; කවටකම්.
3. සම්පප්‍රලාප ; හිස්වදන්.

සාඩම්බර

වි. ආඩම්බරයෙන් යුත් ; දර්ප සහිත ; ගර්වය හා මානය මිශ්‍රිත හැඟීමෙන් යුක්ත.

සාණ

1. නා.ප්‍ර. හණකෙඳි.
2. හණ කෙඳිවලින් වියන ලද රෙද්ද.
3. වී ඇට 120ක බරින් යුත් පුරාණ මිනුම් ක්‍රමයක්.

සාණත්තික

වි. ඇණවීම් සහිත ; මෙහෙයවීම් ඇති.

සාණි

නා.ප්‍ර. කඩතුරාව ; තිරය.

සාණිපාකාරය

නා. ප්‍රාකාරයක් මෙන් සිටින්නට ඇල්ලු තිරය ; වටතිරය ; වටකර අඳිනු ලබන කඩතුරාව.

සාණෝල්ලේඛනා

නා.ප්‍ර. ආයුධ මුවහත් කිරීම, මැණික් ගල් හැඩ ලීම ආදිය සඳහා හණ ගලෙහි ඉලීම.

සාත

1. වි. මිහිරි ; ප්‍රිය ; සුව එළවන.
2. විනාශ වූ ; නාස්ති වූ.
3. දෙන ලද ; දුන්.
නා.ප්‍ර. සැපය ; සුවය.

සාතච්චකාරි

වි. නො නැවතී ක්‍රියා කරන ; අඛණ්ඩව ක්‍රියා කරන.

සාතත්ව

1. වි. නිෂ්ක්‍රිය.
2. අවිච්ඡින්න ; අඛණ්ඩ ; සතත.

සාතත්‍යය

නා.ප්‍ර. නිරන්තර භාවය ; අඛණ්ඩ භාවය.

සාතතිය

නා. නිෂ්ක්‍රියතාව.

සාතන්

නා.ප්‍ර. කිතු දහමට අනුව දෙවියන් වහන්සේට විරුද්ධ වූ දුෂ්ට බලවේග කෙරෙහි අධිපතිකම් කරන්නා ; යක්ෂයා.

සාතභාවය

නා. සුවය ; සැපවත් බව ; ප්‍රියභාවය.

සාතරූප

නා.ප්‍ර. ප්‍රිය රූප ; මිහිරි සුව දෙන රූප.

සාත් කරනවා

ක්‍රි. අවබෝධ කරනවා ; සිද්ධ කරනවා ; වටහා ගන්නවා.

සාත්තවාසි

නා.ප්‍ර. තවලමෙහි වසන්නා ; ගැල් නායකයා හා එක්ව යන වෙළඳ සමූහය ; සාත්තුව සමඟ සිටින අවශේෂ පිරිස.

සාත්තු

වි. තවලම් හා සම්බන්ධ ; ගැල් හා සම්බන්ධ.

සාත්තුව

1. නා. දුබලයකු රැකබලා ගැනීම.
2. දුබලයකුට කරන සත්කාරය.