සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1786

සාත්ථ

වි. අර්ථ සහිත.
නා.ප්‍ර. තවලම් ; ගැල් කණ්ඩායම්.

සාත්ම

1. වි. තමාට අයත් ; ස්වකීය වූ.
2. ආත්ම සහිත ; ආත්මය හා සමාන.
3. යමකුට අපථ්‍ය වූ ආහාර පාන විහරණ බෙහෙත් යන සතර නිතර සේවනය කිරීමෙන් පත්‍ය බවට පත් වන ; තුන් දොසට ; හිතකර.

සාත්වික

වි. සත්ත්ව ගුණයෙන් හටගත් ; සත්ත්ව ගුණයෙන් යුත්.

සාත්වික අභිනය

නා. නෘත්‍යයේ දී මුහුණේ ස්වරූපය කටහඬ ආදිය වෙනස් කිරීම මඟින් සිදුකරන භාව ප්‍රකාශනය.

සාත්විකය

නා. සත්ත්ව ගුණයෙන් මඬනා ලද රජස් තමස් දෙකෙන් යුත් අහංකාරය.

සාතැන්

නා.ප්‍ර. සමාන ස්ථානය ; ප්‍රමාණ බිම් කොටස.

සාති

නා.ප්‍ර. විනාශය ; වැනසීම.

සාතිශය

වි. ඉතා අධික ; අතිමහත් ; බොහෝ.

සාතුම්මයා

නා. සාමාන්‍යයෙන් අපත්‍ය වූ පාන, ආහාර, විහරණ හා බෙහෙත් යන සතර නිතර නිතර ගැනීමේ හේතුවෙන් ඒවාට පථ්‍ය භාවය ලත් තැනැත්තා.

සාථලික

වි. ශාසනය සැහැල්ලු ලෙස සලකන ; ශාසනය ලිහිල් කොට සිතන.

සාද

වි. යහළු ; මිත්‍ර ; සුහද ; හාද.
නා.ප්‍ර. ප්‍රියසම්භාෂණ ; මිතුරුහමුව.

සාදකපේශිය

නා. ඇතැම් පක්ෂීන් කෝටුවක් මත ලගින අවස්ථාවල දී එය ඩැහැගැනීමට පා ඇඟිලි හසුරුවන පේශිය.

සාදනවා

1. ක්‍රි. යම්කිසි දෙයක් තනනවා ; නිෂ්පාදනය කරනවා ; ගොඩ නගනවා.
2. සිදු කරනවා ; ඇති කරනවා.
3. කෑම ආදිය පිළියෙළ කරනවා ; උයනවා.

සාදර

වි. ආදර සහිත ; ආදරයෙන් යුතු.

සාදා දෙනවා

1. ක්‍රි. සිද්ධ කර දෙනවා ; ඇති කර දෙනවා ; සලසා දෙනවා.
2. අල්ලා දෙනවා ; යටත් කර ගැනීමට උදවු වෙනවා.

සාදියන

නා.ප්‍ර. ඉවසීම ; ඉවසා සිටීම.

සාදිලිංගම්

නා.ප්‍ර. චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්.

සාදීනව

වි. ආදීනව සහිත ; ඵලවිපාක සහිත වූ.

සාදුක

නා.ප්‍ර. බඩගිනි වේදනාව ; ආහාර නොමැතිකමින් ඇති වන දුක.

සාදුකාරය

නා. සාදු යන හඬ ; ආගමික කටයුතුවල දී ශ්‍රද්ධාවෙන් යුතු ව බෞද්ධ බැතිමතුන් නංවන හඬ.

සාදෘශ්‍ය උක්තිය

නා. සමාන කොට කීම ; උපමාව.

සාදෘශ්‍ය මූලික

වි. සමානකම් ඇති ; ආනුෂඞ්ගික.

සාධක

1. වි. උදාහරණ කොට ඇති ; හේතු වසයෙන් පවතින ; නිදසුනක් ලෙස.
2. සිද්ධ කරන ; සිදුකරන.
3. සාක්ෂි සපයන ; සාක්කි සම්බන්ධ.
1. නා.ප්‍ර. උදාහරණ ; නිදසුන්.
2. සිද්ධ කිරීම ; සිදු කිරීම.
3. (පාරිභා.) එකට වැඩි කළ විට අවශ්‍ය සංඛ්‍යාව උපදවන සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් හෝ එකක්.
4. (නීති.) පිළිගත හැකි නීතිමය කරුණු.

සාධක ප්‍රමේයය

නා. ගණිතයෙහි එකට වැඩි කළ විට අවශ්‍ය සංඛ්‍යාව උපදවන සංඛ්‍යා දෙකකින් හෝ වැඩි ගණනකින් එකක් නිවැරදි යැයි ඔප්පු කර ඇති ප්‍රකාශය.