සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 254

ඇසිරියා

නා. ඇසුරු කළ තැනැත්තා; සහකාරයා; ආශ්‍රිතයා.

ඇසිරෙනවා

ක්‍රි. ආශ්‍රය කරනවා; සේවනය කරනවා.

ඇසිල්ල

නා. මොහොත; ක්ෂණය; නිමේෂය.

ඇසිවස්

නා.ප්‍ර. විෂ සහිත සර්පයා; විසකුරු සර්පයා.

ඇසුර

නා. ආශ්‍රය.

ඇසුරු කරනවා

ක්‍රි. යමක් ආශ්‍රය කොට පවතිනවා; යමක රඳා පවතිනවා; සේවනය කරනවා; පුරුදු පුහුණු කරනවා; යෙදෙනවා.

ඇසූපිරූතැන්

නා.ප්‍ර. උගත්කම; බහුශ්‍රැතභාවය; පාණ්ඩිත්‍යය.

ඇසූවිරූ

වි. කලින් අසන ලද; පෙර ඇසූ.

ඇසෙම්බිලය

වි. (පාරිභා.) පරිගණක යන්ත්‍රයේ මතකයේ ගබඩා කොට ඇති උපදෙස් මාලාව (=assembler).

ඇසොටොමීටරය

(පාරිභා.) නා. කාබනික සංයෝගයක් ඩූමාස් ක්‍රමයෙන් දහනය කළවිට මෝචනය වන නයිට්‍රජන්වල පරිමාව මැනීමේ විශ්ලේෂක උපකරණයක්(=azotometer).

ඇහැ කරනවා

ක්‍රි. වඳ කරනවා; සමූල ඝාතනය කරනවා.

ඇහැ ගැහෙනවා

(කථා.) ක්‍රි. ඇසට හසු වෙනවා; බලාපොරොත්තු රහිත ලෙස දකිනු ලබනවා.

ඇහැ ලොඳ

(කථා.) නා. ඇසෙහි දෘෂ්ටි විතානයත් කාචයත් අතර පිහිටි ජල්ලි වැනි ද්‍රව්‍යය; කාච රසය.

ඇහැටුල්ලා

නා. උල් වූ මුඛ ඇති සිහින් පලාවන් සර්පයෙක්.

ඇහැරෙනවා

(කථා.) ක්‍රි. (නින්දෙන්) අවදි වෙනවා.

ඇහැසි

වි. ගුවනෙහි වූ; නභෝගත.

ඇහැසිය

(පාරිභා.) නා. විද්‍යුත් චුම්බක තරංගයකින් ශක්තිය ලබා ගත හැකි විවෘත කම්බියක්; ගුවන් කම්බිය (=aerial).

ඇහැසෙනවා

ක්‍රි. ආකර්ෂණය වෙනවා.

ඇහි

1. නා.ප්‍ර. නෙත; ඇස.
2. නා.ප්‍ර. වී ඇටයක් වැනි ධාන්‍ය බීජයක බීජාවරණයෙහි ඇති තද කොටස.
3. නා.ප්‍ර. දැලක හිල හෙවත් සිදුර.

ඇහි ඇඳ

නා. වේවැලින් හෝ ලණුවෙන් වියන ලද ඇඳ.

ඇහි කූඩය

(කථා.) නා. මැණික් ගැරීම, මසුන් මැරීම ආදියෙහි දී භාවිත කරන ඇස් හෙවත් හිල් සහිත කූඩය.

ඇහි තලය

(පාරිභා.) නා. ශල්‍ය චර්මීන්ගේ දෘඪ නාළයේ මුඛය වශයෙන් ක්‍රියා කරන ඡිද්‍රිත ඵලකයක් (=madreporite).

ඇහි දැල

1. (කථා.) නා. කුඩා සිදුරුවලින් යුක්ත මාළු දැල.
2. නා. හිදැස; සිදුර.

ඇහි පුටුව

නා. ඇස් හෙවත් සිදුරු ඇති වන සේ වේවැල්වලින් හෝ ලණුවෙන් වියන ලද පුටුව.