සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 299

උණ්හීසසීස

නා.ප්‍ර. පිරිපුන් නළල සහිත පිරිපුන් හිස; දකුණු කන් හිසින් පටන්ගෙන වම් කන් හිස දක්වා මුළු නළල් තලය රන් පටකින් වැසුවා සේ වන ලක්ෂණය; බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි.

උණ්හෝදකය

නා. උණුවතුර.

උණු

වි. උණුසුම්; රත් වූ; වැඩි උෂ්ණත්වයක් ඇති.

උණු කරනවා

1. ක්‍රි. උණුසුම් කරනවා; රත් කරනවා.
2. ක්‍රි. ලෝහ වර්ග රත් කිරීමෙන් දිය කරනවා; උෂ්ණයෙන් ද්‍රාවණය කරනවා.
3. ක්‍රි. හිත මොළොක් කරනවා; අනුකම්පා ඇති කරනවා.

උණු දිය උල්පත

නා. පොළොව තුළින් ස්වාභාවිකව උණු වතුර මතු වන ස්ථානය.

උණුසුම්

නා.ප්‍ර. උෂ්ණය; උණු ගතිය; රස්නය.

උණුසුම්වර්ණ

නා.ප්‍ර. රතු, කහ, දුඹුරුපාට සහ ඒවායින් මිශ්‍ර අන්‍ය වර්ණ.

උණුහුම්

වි. උණුසුම් බව ඇති; රස්නය ඇති.

උත්

උ. ඉහළට; උඩට; උඩින්; උසස්; බැහැර; අධික.
වි. කියූ; උක්ත.

උත්ක

1. වි. උකටලී; කලකිරුණු.
2. වි. අනෙක් දෙයක් සිතන.

උත්කට

වි. අධික; වැඩි.
නා.ප්‍ර. කුරුඳු පොතු.

උත්කණ්ඨ

1. වි. දැඩි බලාපොරොත්තු ඇති; උත්සුක.
2. වි. උකටලී; කලකිරුණු.

උත්කණ්ඨාව

1. නා. දැඩි ආසාවෙන් බලාපොරොත්තු වීම.
2. නා. කලකිරීම; පසුතැවීම.
3. නා. උඩුකුරු වූ ගෙල ඇති බව.

උත්කම්පාව

නා. චංචල වීම; කැලඹීම.

උත්කර්තනය

නා. කැපීම; කපා දැමීම.

උත්කර්ෂණය

1. නා. පිරිසිදු බවට පත් කිරීම.
2. නා. ඉහළට එසවීම.

උත්කර්ෂය

1. නා. උසස් බව; ශ්‍රේෂ්ඨත්වය; විශිෂ්ටත්වය.
2. නා. විපුලත්වය; අධික බව; අතිශය.

උත්කර්ෂාපකර්ෂ

[උත්කර්ෂ + අපකර්ෂ]
නා.ප්‍ර. ශ්‍රේෂ්ඨත්වය හා හීන භාවය; උසස් බව හා පහත් බව.

උත්කලන

නා.ප්‍ර. ලිහීම; බුරුල් කිරීම.

උත්කලිත

වි. පලවන ලද; පහ කරන ලද.

උත්ක්ෂිප්ත

1. වි. උඩට දමන ලද; ඉහළ නැඟි; එසවුණු; උස් වූ.
2. වි. බැහැර කළ; වමාරන ලද.
1. නා. පෘථිවි පෘෂ්ඨයේ කොටසක මට්ටම ඉහළ නැඟීම හෙවත් උස් ව පිහිටීම.
2. නා. අත්තන නම් ශාකය.

උත්ක්ෂේපණය

නා. උඩට දැමීම; එසවීම; පොළෝතලයේ කොටස් උඩට නැගීම; නෙරපා හැරීම.

උත්ක්ෂේපමර්මය

නා. නළල දෙකෙළවර කේශාන්තයෙහි පිහිටි මර්ම හෙවත් දුර්වල ස්ථාන දෙක.