සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 328

උපවාසය

නා. (සෞඛ්‍යය සඳහා හෝ ආගමික ප්‍රතිපත්තියක් වශයෙන් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීම සඳහා හෝ) නිරාහාර ව සිටීම.

උපවිඥානය

නා. මිනිස් සිතෙහි යටපත් වී පවත්නා විඤ්ඤාණ අවස්ථාව; යටිහිත.

උපවිද්‍යාව

නා. විද්‍යාවට ඇතුළත් භෞතික විද්‍යාව; සත්ත්ව විද්‍යාව වැනි අතුරු විද්‍යාවක්.

උපවිෂ

නා.ප්‍ර. අබින්, නියඟලා අල, අත්තන ඇට ආදි අප්‍රධාන විෂ වර්ග.

උපවිෂ්ට

1. වි. හිඳගත්; වාඩි වූ.
2. වි. එළඹුණු; පැමිණි.

උපවීණය

1. නා. වීණා දණ්ඩ.
2. නා. වීණාව වැයීමට ගන්නා දුන්න; වීණා දුන්න; අළුව.

උපවේශනය

නා. හිඳීම; හිඳගැනීම.

උපශමනය

1. නා. සංසිඳුවීම; කෙළවර කිරීම; නිවාරණය; රෝග සුව කිරීම.
2. නා. සිත සතුටු කිරීම හෙවත් පිනවීම.

උපශ්‍රැතිය

නා. වචනය ඇසෙන දුර ප්‍රමාණය.

උපශාඛාව

නා. ශාඛාවකින් බෙදී ගිය අතුරු ශාඛාව; කුඩා අත්ත; අනු ශාඛාව.

උපශාන්ත

වි. සන්සුන්; ශාන්ත වූ; සන්සිඳුණු; නිවුණු; ව්‍යුපශමනය වූ.

උපශාලාව

නා. ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට පෙර සිටිය යුතු කුඩා ශාලාව; විවේකාගාරය.

උපශීර්ෂය

(පාරිභා.) නා. උපමාතෘකාව; ප්‍රධාන නොවන සිරස්තලය.

උපශෝභිත

වි. අලංකාර කරන ලද; සරසන ලද; ශෝභමාන වූ.

උපසංක්‍රමණය

නා. ළඟට පැමිණීම; සමීපයට එළඹීම.

උපසංග්‍රහය

නා. ආදර සංග්‍රහය; උදවු උපකාරය; සත්කාරය.

උපසංහරණය

නා. වෙතට ගෙන එම; ළඟට පැමිණවීම හෝ එළවීම; එක්තැන් කිරීම; කැටි කිරීම; හකුළුවා ගැනීම.

උපසංහිත

වි. සම්බන්ධ හෝ පිළිබඳ; ඇතුළත්; අඩංගු.

උපසත්කාරය

නා. ළඟ සිට කරන සත්කාරය; ඉතා ඕනෑකමින් සත්කාර කිරීම; ඇප උපස්ථාන කිරීම.

උපසන්න

(පාරිභා.) වි. ඉතා කිට්ටු; ළං වූ; ආසන්න (=approximate value).

උපසපන්

වි. අධිශීලයට පැමිණි; උපසම්පදාව ලැබූ.

උපසමය

නා. සන්සිඳීම; ශාන්තභාවය; සංවරකම; සියලු දුකින් සන්සිඳීම; උපශමය.

උපසම්පදාව

නා. සාමණේර පැවිද්දන් අධිශීලයෙහි පිහිටුවීම සඳහා කරන විනය කර්මය.

උපසරණය

නා. සමීපයට පැමිණීම; ආගමනය.