සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 333

උභතෝසුජාත

වි. (මව්පිය) දෙපසින් ම උතුම්ව උපන්.

උභය

වි. දෙකකින් යුත්; දෙකක් වූ; දෙවැදෑරුම් වූ.

උභය කුලය

නා.වංශ දෙක; මව්පිය දෙපාර්ශ්වය; මව්පිය දෙදෙනාගේ පරපුර.

උභය කෝටිය

නා. දෙකෙළවර එකක් සේ ගත් අන්ත දෙක.

උභය චරයා

(පාරිභා.) නා. දියෙහි හා ගොඩබිමෙහි එක සේ විසිය හැකි සත්ත්වයා; උභයජීවියා (=amphibious).

උභය තීරය

නා. එගොඩ හා මෙගොඩ; දෙගොඩ.

උභය පිධානියා

නා. පියන් දෙකකින් ආවරණය වූ බෙල්ලා.

උභය මන්ත්‍රී මණ්ඩලය

නා. පාර්ලිමේන්තු ක්‍රමයට අයත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය යන මැතිමඬුලු දෙක.

උභය රාශිය

නා. (ජ්‍යෝති.) රාශි චක්‍රයෙහි චර සහ තිර රාශි දෙක.

උභය ලෝකය

නා. මෙලොව හා පරලොව; දෙලොව.

උභය වාසය

නා. ග්‍රාමවාසය හා ආරණ්‍යවාසය හෙවත් වනවාසය යන භික්ෂු ආයතන දෙක.

උභය ශාසනය

නා. භික්ෂු භික්ෂුණී යන දෙවැදෑරුම් ශාසනය.

උභය සමෘද්ධිය

නා. මෙලොව හා පරලොව යන දෙකෙහි ම දියුණුව; දෙලෝ යහපත.

උභයගුණීය

(පාරිභා.) වි. ආම්ලික හා භාස්මික යන ගුණ දෙකින් ම යුත් (=amphoteric).

උභයලිඞ්ග

වි. ස්ත්‍රී, පුරුෂ යන ලිඞ්ගද්වය ම ඇති; ද්විලිඞ්ගී.

උභයාංශය

නා. අංශ දෙක; පැති දෙක; දෙ උර.

උභයාංසිකයා

[උභය + අංසික]
නා. දෙඅංසය හෙවත් දෙ උර වසා සිවුරු පොරවන භික්ෂූන් වහන්සේ.

උභයාභාසය

[උභය + ආභාසය]
තර්ක සිද්ධාන්ත හෝ නීති දෙකක් අතර ඇති පරස්පර විරෝධනය.

උභයාර්ථය

1. නා. තේරුම් දෙක; අරුත් දෙක.
2. නා. තමන්ගේ හා අනුන්ගේ යහපත.
3. නා. මෙලොව හා පරලොව යහපත. “
4. (පාරිභා.) නා. දෙයාකාර ව තේරුම් ගැනීම; වක්‍රෝක්තිය.

උභයාලඞ්කාරය

නා. (අලං.) අර්ථාලංකාර හා ශබ්දාලංකාර යන දෙකින් ම යුත් අලංකාරය.

උභයාවතල

[උභය + අවතල]
(පාරිභා.) වි. දෙ කෙළවර ම අවතල වූ (=amphicoelous).

උම

නා.ප්‍ර. රැළ; තරංගය.

උමං කෑම

නා. උමං හාරා හොරකම් පිණිස ගෙවලට වැදීම; ගෙවල් බිඳ සොරකම් කිරීම; උමං බිඳීම.