සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 334

උමං ගබඩාව

(පාරිභා.) නා. පොළොව යට තනන ලද කාමරය හෝ ගබඩා කාමරය.

උමං ගෙය

1. (පාරිභා.) නා. ගොඩනැගිල්ලක පොළොවෙන් යට පිහිටා ඇති තට්ටුව.
2. නා. පොළොව යටින් කැපූ මාර්ගය; උමං මාර්ගය.

උමංකඳුර

නා. උමං දෙකක් අතර වූ කපොල්ල.

උමග

නා. පොළොව යටින් තිරස් ව කැණුණු මාර්ගය; දෝනාව; භූගර්භ මාර්ගය.

උමතු

වි. සිහි විකල් වුණු; වියරු වූ; පිස්සු වැටුණු; මත් වූ.

උමතුව

නා. සිහි විකල්බව; පියවි සිහිය නැතිබව; පිස්සුව; උන්මාදය.

උම්බලකඩ

නා.ප්‍ර. ව්‍යංජන ආදිය රසවත් කිරීම සඳහා තම්බා තදට වේලා පිළියෙල කරගත් මාළු විශේෂයක්.

උම්මාර

නා.ප්‍ර. එළිපත.

උම්මීලනය

නා. ඇස් ඇරීම; ඇස් විවෘත කිරීම.

උම්මුජ්ජනය

නා. (දියෙන්) මතු වීම.

උම්මූලනය

නා. මුලින් ඉදිරීම; මුලින් උපුටා දැමීම.

උමා

නා.ප්‍ර. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; පාර්වතී.

උමාපති

නා.ප්‍ර. උමාවගේ පුත්‍රයා; ශිව දෙවියා; මහේශ්වරයා.

උමාපුත්

නා.ප්‍ර. උමාව ගේ පුත්‍රයා; කඳ කුමරා.

උමු

1. වි. උඩුකුරු කළ මුහුණ ඇති; උඩට නඟා ගත් මුහුණ ඇති.
2. වි. ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි.
3. වි. බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින.

උමුවා

නා.ප්‍ර. උඩට නඟා ගත් මුඛ ඇති තැනැත්තා; කටුස්සා.

උයන

නා. මල් ඵල හටගන්නා වෘක්ෂලතාදිය සහිත භූමිය; මල්වත්ත; උද්‍යානය.

උයනවා

ක්‍රි. පිසනවා; තම්බනවා.

උයන් ගොවුවා

නා. උයන රැකබලා ගන්නා තැනැත්තා; උද්‍යාන පාලකයා; උයන්පල්ලා.

උයන් වැවීම

(පාරිභා.) නා. මල්, පලතුරු, එළවළු, අලංකාර ශාක ආදි වගා කටයුතු කරනු ලබන කෘෂිකර්ම අංශය; උද්‍යාන කර්මය (=horticulture).

උය්‍යෝගය

1. නා. නික්මීම.
2. නා. උද්‍යෝගය.

උර

1. නා.ප්‍ර. පපුව; ළපැත්ත; වක්ෂස්ථලය.
2. නා.ප්‍ර. උරහිස; කර; දසරුව.
3. නා.ප්‍ර. හදවත; සිත.
4. නා.ප්‍ර. රන් ආදි ලෝහ පරීක්ෂා කිරීමට ගනු ලබන ගල; උරගල; නාහස්නා පහණ.
5. නා.ප්‍ර. තාප්පය; පවුර; ප්‍රාකාරය.
6. නා.ප්‍ර. වැස්ම; ආවරණය; කොපුව; කොට්ට මෙට්ට ආදියෙහි පිට කවරය.
7. නා.ප්‍ර. බඩ ගා යන සතා; උරගයා.

උර ඇටය

නා. උරයෙහි ඉදිරිපසින් සරස් ව පිහිටි ඇටය; අකුව; අකු ඇටය; අක්ෂකාස්ථිය.

උර කුහරය

නා. පපු කුහරය; මෙහි හෘදය වස්තුව, පෙණහලු ආදිය පිහිටා තිබේ.